ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පත් කළ මන්ත්රී ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වූ දා සිට මේ දක්වා සභාවේ එකම දිනක වත් අදහස් දක්වා නැති බැවින් ඔහු ගිනස් වාර්තාවක් පිහිටුවා ඇතැයි විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (15 වැනිදා) පැවසීය.
එබැවින් ටිරාන් අලස් මන්ත්රීවරයාට සියලු දෙනාම එක්වී තෑග්ගක් ලබාදිය යුතු යෑයිද විපක්ෂ නායකවරයා කියා සිටියේ ප්රජාතන්ත්රවාදී ජාතික සංධානයේ ගාල්ල දිස්ත්රික් මන්ත්රී අජිත් කුමාර මහතාට මෙවර අයවැයේදී කතා කිරීම සඳහා වේලාවක් වෙන්කර නොදීම පිළිබඳව එම මන්ත්රීවරයා විසින් වරප්රසාද ප්රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
එහිදී අජිත් කුමාර මන්ත්රීවරයා විසින් වරප්රසාද ප්රශ්නය මතු කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ රනිල් වික්රමසිංහ මහතා මෙසේද කීය.
ගරු කථානායකතුමනි,විරුද්ධ පක්ෂයට ලැබුණු කාලයෙන් අය වැය දෙවන වර කියෑවීමේ විවාදයටත් කාරක සභා අවස්ථාවටත් කාලය වෙන්කර තිබෙනවා. වැඩියෙන් කාලය හම්බ වෙන්නේ කාරක සභා අවස්ථාවට. දෙවනවර කියෑවීමේ විවාදය අවස්ථාවේදී හැම මන්ත්රීවරයකුටම වෙලාව දෙන්න පුළුවන් වේවිද කියන ප්රශ්නයක් තිබෙනවා. ඒ නිසා විපක්ෂයේ තිබෙන ප්ර්රධාන පක්ෂ තුන වන එක්සත් ජාතික පක්ෂයට දෙමළ ජාතික සන්ධානයට ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයට කාලය වෙක් කරලා දීලා තිබෙනවා. ඒ කණ්ඩායම් නායකවරුන්ගෙන් දැන ගන්න පුළුවන් කොහොමද ඒ වෙන් කිරීම කරන්නේ කියලා. ඊට අමතරව, විශේෂ කාරක සභාව තිබෙන අවස්ථාවේදී හැම කෙනාටම කථා කරන්න අවස්ථාව ලබාදෙන්න පුළුවන් කියා අපි කිව්වා. සමහර අයට මෙතැන කථා කරන්න බැරි වුණත් විශේෂ කාරක සභාවේ කථා කරන්න පුළුවන්. මටත් මෙතැන කථා කරන්න බැරි වුණාට විශේෂ කාරක සභාවේ කථා කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම අනුර කුමාර දිසානායක මන්ත්රීතුමාත් මේ සම්බන්ධයෙන් කථා කළා. ඒ කාලය සම්බන්ධයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය ඇතුළේ ජනතා විමුක්ති පෙරමුණ වෙනම පක්ෂයක් හැටියට ක්රියා කරනවා කියලා කිව්වා. මම ඔබතුමාට කියන්නේ ඒ පක්ෂය එක්කත්, මෙතුමා එක්කත් කථා කරලා ගන්න තීරණයක් ගන්න කියලයි. මොකද දැනට ජනතා විමුක්ති පෙරමුණේ හැර අනෙක් පක්ෂවල මන්ත්රීවරුන් ගැන අපි දන්නේ නැහැ. ඇත්ත වශයෙන් සමහර අය කතා කරලා නැහැ. ටිරාන් අලස් මන්ත්රීතුමා ගිනස් වාර්තාවක් ඇති කරලා තිබෙනවා එක දවසක්වත් මේ සභාවේ කතා කරලා නැතිව.
ඉතින් මා දන්නේ නැහැ මොනවාටද මන්ත්රීවරුන් හැටියට එන්නේ. අපි මොනවාටද අපි කාලය වෙන් කරන්නේ. මොනවාටද මන්ත්රීවරුන් වෙන්නේ, කට අරින්නේ නැත්නම් කියලා.
දිනේෂ් ගුණවර්ධන මහතා
ඔබතුමාටයි මටයි එතුමාගේ පියා ඉගැන්වූවා
මම දන්නවා. මම දන්නවා. දැන් එතුමා බලනවා. මට උගන්වන්න ගරු කථානායකතුමනි ඇත්ත වශයෙන්ම අපි එකතුවෙලා එතුමාට තෑග්ගක් දෙමු. පාර්ලිමේන්තුවේ කථා නොකරපු මන්ත්රීවරයා කියලා. මේක පොදු රාජ්ය මණ්ඩලයම ඒකමතිකව අනුමත කරාවි.
Source: Divaina (Sri Lanka)