අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එල්ල වී ඇති දෝෂාභියෝග චෝදනා පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් හමුවේ විභාග කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල දැයි තීරණයක් කරන තෙක් ඇයට එරෙහිව චෝදනා විභාග කිරීමෙන් වැළකීම වඩා සුදුසු යෑයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22 වැනිදා) නියෝග කළේය.
පාර්ලිමේන්තුව සහ අධිකරණය යන ආයතන දෙකම ගරුත්වය රැකගෙන ගැටුමකින් තොරව ඉදිරියට කටයුතු කරගෙන යැමට එම ක්‍රියාමාර්ගය බෙහෙවින් ඉවහල් වන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.
කෙසේ වුවද, පෙත්සම් විභාගය අවසන් වන තෙක් තේරීම් කමිටුව හමුවේ අගවිනිසුරුවරියට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණ නැවැත්විය යුතු බවට නියෝගයක් මේ අවස්ථාවේදී නිකුත් නොකිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළ බව ද සභාපති විනිසුරු නිමල් ගාමිණී අමරතුංග මහතා දැනුම් දුන්නේය.
විනිසුරු මඩුල්ල එකී තීරණය ප්‍රකාශයට පත් කළේ රජය වෙනුවෙන් පෙනී සිටි නීතිපති පාලිත ප්‍රනාන්දු සහ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දීර්ඝ වශයෙන් ඉදිරිපත් කළ කරුණුවලට සවන් දීමෙන් අනතුරුවය.
කේ. ශ්‍රී පවන් හා ප්‍රියසාද් ඩෙප් යන මහත්වරු මෙම පෙත්සම් සලකා බැලූ විනිසුරු මඩුල්ලේ අනිත් සාමාජිකයන් දෙදෙනාය.
ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දු ප්රකාශනයේ පිටපතක් සමඟ පෙත්සම්වල පිටපත් ද ඇතුළු සියලු ලියකියවිලි දෝෂාභියෝග චෝදනා විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සාමාජිකයන්ට ලැබෙන පරිදි ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන්ට යවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්රාර්වරයාට නියෝග කළේය.
Source: Divaina (Sri Lanka)