අධිකරණයේ ස්‌වාධීනත්වය ජනතා පරමාධිපත්‍යයේම කොටසක්‌

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා
2012 නොවැම්බර් 19 වැනි දා පාර්ලිමේන්තුවේදී
කළ කතාව ඇසුරෙනි.

අපේ ආණ්‌aඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ව්‍යවස්‌ථාදායක බලයත්, අධිකරණ බලයත් ඇත්තේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා විනිශ්චයකාරවරුන්ගේ පත්වීම් සිදු කරන අධිකරණ සේවා කොමිසම ආරක්‍ෂා කිරීමේ වගකීම සතුව ඇත්තේ පාර්ලිsමේන්තුවටයි. මේ අවස්‌ථාවේදී අධිකරණ සේවා කොමිසමේ ලේකම්තුමාට පහරදීම පිළිබඳව ප්‍රශ්නයත් මෙයට ඇතුල් වෙනවා. එතුමාට විරුද්ධවත් යම් යම් චෝදනා එල්ල වී තිබෙනවා. එසේ චෝදනා එල්ල වූ පමණින් හෝ එල්ල කළ පමණින් එතුමාට පහරදීම සාධාරණීකරණය කරන්න බැහැ. තවමත් මේ පහරදුන් කණ්‌ඩායම සොයා ගන්න පොලීසිය අසමත් වෙලා. සම්පූර්ණ ආණ්‌ඩු බලය සාධාරණ, නිවැරැදි හා අපක්‍ෂපාතී ලෙස යොදවනවා නම් මේ පහර දුන් කණ්‌ඩායම සොයා ගැනීම අපහසු කාර්යයක්‌ නොවෙයි.

මේ පහරදීම සිතා මතාම කළ දෙයක්‌ බව අමුතුවෙන් පහදා දිය යුතු නැහැ. ඒ නිසා විනිශ්චයකාරවරුන්ටත් මේ පහරදීම පිළිබඳ කිසියම් සැකයක්‌ මතුවී තිබෙනවා. තමන්ට ගහපු අය නිදහසේ හැසිරෙනවා. ඒ ගැන පියවර අරගෙන නැහැ කියලා තිලකරත්න මැතිතුමාත් චෝදනාවක්‌ නඟන්නේ වේදනාවෙන්. ඒ වේදනාව එක්‌සත් ජාතික පක්‍ෂයේ අපි හොඳට දන්නවා.

එපමණක්‌ නොවෙයි, අධිකරණ තීන්දුව අනුව අර්ථ දැක්‌වුණේ මගේ නිල වාහනයෙන් මම අනිසි ගමනක්‌ ගිය විදියටයි. ආරක්‍ෂක තර්ජන පිළිබඳව සමාලෝචනය කිරීමෙන් පසුවයි, වෙඩි නොවදින නිල රථයක්‌ මට ලබාදී තිබුණේ. මේ රටේ විපක්‍ෂ නායකවරයාට එවන් ආරක්‍ෂිත රථයක්‌ ලබා දීම කාලයක්‌ තිස්‌සේමත් සිදුවී තිබුණා. නමුත් අධිකරණය නොකියා කිව්වේ මට නිල රථයෙන් යන්නට පුළුවන් ගෙදර ඉඳන් පාර්ලිමේන්තුවට විතරයි කියලයි. එතකොට විපක්‍ෂ නායකවරයාට ආරක්‍ෂිත තර්ජන තියෙන්නේ පාර්ලිමේන්තුවට යද්දී විතරයි. පාර්ලිමේන්තුවේ සිට සිරිකොතට යද්දී තර්ජනයක්‌ නැහැ. ඇත්ත වශයෙන්ම ඒ තීන්දුව අනුව කටයුතු කළා නම් රජයේ නිල වාහනයකට පහරදී අලාභහානි සිදු කිරීම පිළිබඳව වන්දි ගෙවන්න වෙන්නේ පහරදුන් අයට නොවෙයි මටයි. මම සිදු නොකළ වරදකට මිලියන 10 ක්‌ පමණ වන්දි ගෙවන්නට හැකියාවක්‌ නැති නිසා මට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යන්න සිදු වුණා. මේ සියලු සිද්ධි ගැන සඳහන් කරන්නේ කැකිල්ලේ තීන්දු දුන් අයගෙන් පළිගන්න නොවෙයි. අපි ක්‍රියා කළ යුත්තේ අතීතය ගැන අවබෝධයෙනුයි. අනාගතය නිවැරැදි කරගත හැක්‌කේ ඒ අවබෝධය මතයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන අප අධිකරණයට අත පොවන්නට යා යුතු නැහැ. එසේම අධිකරණයත් පාර්ලිමේන්තු ක්‍රමය පිළිගත යුතුයි. අපේ පාර්ලිමේන්තුවේ ඇත්තේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක්‌. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තු පක්‍ෂ ක්‍රමය හරහායි. ප්‍රංශ ව්‍යවස්‌ථාවේ මෙන්ම යුරෝපීය සංගමයේ ලිස්‌බන් ගිවිසුමෙහිත් ඒ බව පිළිගෙන තිබෙනවා. අපේ රටේ 1978 ව්‍යවස්‌ථාවේ ඒ බව පළමු වතාවට සඳහන් කරමින් වක්‍රව පිළිගෙන තිබෙනවා. පොදුරාජ්‍ය මණ්‌ඩලයත් දේශපාලන පක්‍ෂ පදනම් කරගත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නවා.

එසේනම් පක්‍ෂ ක්‍රමය ඉදිරියට ගෙන යා යුතුයි. එක්‌ එක්‌ පක්‍ෂ ක්‍රියා කරන්නේ ඔවුන්ගේ අභ්‍යන්තර ව්‍යවස්‌ථාවන්ට අනුකූල ක්‍රමවේදයන් අනුවයි. ඒ ක්‍රමවේදයන්ට අධිකරණය ඇඟිලි ගසනවා නම්, හිතෙන හිතෙන විධියට තහනම් නියෝග හා තීන්දු දෙනවා නම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතියක්‌ නිර්මාණය වෙනවා. එහි ප්‍රතිඵලය මුළු මහත් දේශපාලන ආකෘතියම බිඳ වැටෙන අර්බුද නිර්මාණය වීමයි.

ඒ සඳහා ආසන්නතම උදාහරණයක්‌ අපට මැලේසියාවෙන් පෙන්වා දෙන්නට පුළුවන්. මැලේසියාව ඹඵභධ පාලක පක්‍ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයකට අධිකරණය අත පෙව්වා. පක්‍ෂය තහනම් කරන්නට තීන්දු කළා. අර්බුදයේ කෙළවර අගවිනිසුරු ඉවත් කිරීම දක්‌වා දුරදිග ගියා. අදත් මැලේසියාවේ මේ අර්බුදය අවසන් වී නැහැ. 1974 දී ඉන්දිරා ගාන්ධි අගමැතිනියට විරුද්ධව ඡන්ද පෙත්සමේදීත් මෙවැනි දෙයක්‌ සිද්ධ වුණා. පොලීසිය ආරක්‍ෂක හේතු මත මැතිවරණ වේදිකාවන් හදා දීම වරදක්‌ බව කියමින් ලක්‍ෂ ගණනක්‌ වැඩි ඡන්ද ලැබූ ගාන්ධි මැතිනියගේ ජයග්‍රහණය අධිකරණය විසින් අවලංගු කර දැම්මා. එයට ප්‍රතිචාරයක්‌ ලෙස ඉන්දිරා ගාන්ධි අගමැතිනිය හදිසි නීSතිය යටතේ ඒකාධිපති පාලනය ඇති කළා.

ව්‍යවස්‌ථාදායකය හා අධිකරණය ගමන් කළ යුත්තේ මෙවැනි ගැටුම් වලින් තොරවයි. අනාගතයේ අපට එසේ කළ හැකි වෙතැයි මම බලාපොරොත්තු වෙනවා.

වර්තමානයේ මේ සභාවට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 107 වගන්තිය යටතේ අගවිනිසුරුතුමිය ගැන යෝජනාවක්‌ ඉදිරිපත් වී තිබෙනවා. එවැනි යෝජනාවක්‌ ඉදිරිපත් වූ විට මේ සභාව ව්‍යවස්‌ථාදායක බලය පමණක්‌ නොව අධිකරණ බලයත් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මේ යෝජනාව සම්බන්ධව පිළිතුරු ලබාදීමට එතුමිය මේ සභා පරිශ්‍රයට පැමිණෙන බවත් දන්වා තිබෙනවා. 2012 වසර අවසන් වෙද්දී මේ පාර්ලිමේන්තු පරිශ්‍රයට අගවිනිසුරුවරුන් තිදෙනෙක්‌ පැමිණ තිබෙනවා. දෙදෙනෙක්‌ අපේ තේරීම් කාරක සභාව විසින් කැඳවූ අය. අනික්‌ පුද්ගලයා අප කාටවත් දැනුම් නොදී කාන්තාවක්‌ සමග ගෙදර යන ගමන් මෙහි පැමිණ තියෙනවා. කැනේඩියානු විනිශ්චයකරුවන් සඳහා වූ මූලික ආචාර ධර්ම යන ප්‍රකාශනයේ අධිකරණ ස්‌වාධීනත්වය පිළිබඳ ඇති සඳහන උධෘත කරන්නට මම කැමැතියි. අධිකරණයේ ස්‌වාධීනත්වය යනු විනිශ්චයකරුවන්ගේ පුද්ගලික අයිතියක්‌ නොව, අධිකරණ අපක්‍ෂපාතිත්වයේ සහ සියලුම කැනේඩියානුවන්ගේ ව්‍යවස්‌ථාමය අයිතිය පිළිබඳ පදනමයි.

අධිකරණ බලය යෙදවීමේදී පාර්ලිමේන්තුව අධිකරණ ක්‍රමවේදයක්‌ අනුගමනය කළ යුතු බව මා නැවත නැවතත් අවධාරණය කරන්නේ ඒ නිසයි. සාමාන්‍යයෙන් අප ව්‍යවස්‌ථාදායකයේදී ක්‍රියා කරන්නේ දේශපාලන ක්‍රමවේදයන් ඔස්‌සේයි. නමුත් මෙතනදී අප එසේ නොකොට අධිකරණ ක්‍රමවේදයන් ඔස්‌සේ ක්‍රියා කළ යුතුයි.

ඒ වගත් සඳහන් කරමින්, එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ ස්‌වාධීන විනිශ්චයකරුවන් හා නීතිඥයන් පිළිබඳ විශේෂ නියෝජිත ගේබ්‍රියේලා නවුලා මහත්මිය මේ ගැන ඉදිරිපත් කර තිබෙන ප්‍රකාශනය ගැනත් යමක්‌ සඳහන් කළ යුතුයි. ඇය සඳහන් කරන්නේ “ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 107 වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් ඉවත් කිරීමේ ක්‍රමවේදය ඔස්‌සේ පාර්ලිමේන්තුවට අධිකරණය වෙත සෑහෙන බලපෑමක්‌ කළ හැකි අතර, එය අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ගිවිසුමේ 14 වැනි වගන්තියේ සඳහන් බලතල බෙදී යැමේ ප්‍රතිපත්තියට විරුද්ධ බවයි.

ඒ මතය සම්බන්ධයෙන්, මම ගේබ්‍රියෙලා මහත්මිය සමග එකඟ වන්නේ නැහැ. පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රටවල් සියල්ලේම පාහේ විනිශ්චයකරුවන් හා අග්‍රවිනිශ්චයකරුවන් ඉවත් කිරීමේ බලය සතු පාර්ලිමේන්තුවටයි. ඒ බලය ක්‍රියාත්මක කරන ආකාරය ගැන විවිධ මතවාද, අදහස්‌ හා ප්‍රශ්න තිබුණත් ඒ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි.

මෙතැනදී අවධාරණය කළ යුතු ප්‍රධාන කරුණ වන්නේ පෙරකී ප්‍රකාශනයේ සඳහන් අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ගිවිසුම ලංකාවේ වලංගු නීතියක්‌ නොවන බවයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ගිවිසුමට ලංකා ආණ්‌ඩුව අත්සන් කළා. එය ලංකාවේ ක්‍රියාත්මක කළා. නමුත් අපේ ශ්‍රේෂ්ඨාධිකරණය එය ලංකාවට බල නොපාන ගිවිසුමක්‌ ලෙසට තීන්දු කළා. මම එදත් ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වැරැදි සහගත බව පෙන්වා දුන්නා. අදත් පෙන්වා දෙනවා. නමුත් ඒ තීන්දුව නිසා ඒ ගිවිසුම ලංකාවට වලංගු නැහැ. ඒ මහත්මිය තම නිවේදනය ගේබ්‍රියෙලා මහත්මිය නිකුත් කරන්නට කලින් සියලු පාර්ශවයන් විමසුවා නම් අපට මේ සත්‍ය තත්ත්වය පෙන්වා දෙන්නට තිබුණා.

අපේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය කාලයේ සිදු කළේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සියල්ලම පාහේ ක්‍රමානුකූලව ඉවත් කිරීමයි. එවැනි අයිතිවාසිකම් රැක ගැනීම සඳහා තිබූ ජාත්‍යන්තර ආරක්‍ෂිත දැල් සියල්ලම ශේ්‍රෂ්ඨාධිකරණය කපා දැම්මා. ජනතාව දවසින් දවස අසරණ වුණා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයත් ඒ අසරණ තත්ත්වයට ලා.

පසුගිය වසර 20 ඇතුළත දී රටවල් ගණනාවක ශ්‍රේෂ්ඨාධිකරණ, අලුත් තත්ත්වය දිහා විමසිල්ලෙන් නිරීක්‍ෂණය කර ශ්‍රේෂ්ඨාධිකරණ හා අනෙකුත් විනිශ්චයකරුවන් සඳහා වූ ආචාර ධර්ම සංග්‍රහයක්‌ සකස්‌ කළා. මා පෙර අවස්‌ථාවක උධෘත කළේ කැනේඩියානු ආචාර ධර්ම පද්ධතියෙනුයි. ඉන්දියාවත් එවැන්නක්‌ සකස්‌ කළා. එංගලන්තයත් දැන් එවැනි ආචාර ධර්ම පද්ධතියක්‌ කරලා තිබෙනවා. එහෙත් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඒක කරන්න බැරි වුණා. ඇත්ත වශයෙන්ම ඒක කළා නම් මේ ප්‍රශ්නයෙන් භාගයක්‌ම අද විසඳිලා ඉවරයි.

අපි වරද නිවැරැදි කළ යුත්තේ වරද අවබෝධ කරගෙනයි. සිදු වුණු දේවල් සිදු වුණා. ඒවා ආපහු වෙනස්‌ කරන්න බැහැ. එහෙත් ඒවායින් පාඩම් ඉගෙන ගෙන අපි මෙතැන් පටන් නිසි අයුරින් අධිකරණය ක්‍රියාත්මක කළ යුතුයි. අපේ යුතුකම විය යුත්තේ එයයි. විනිශ්චයකරුවන් සම්බන්ධව අපේ ව්‍යවස්‌ථාවේ තිබෙන විෂම පැවැත්ම හා අබලතාවය පිළිබඳ වගන්ති අපි රැගෙන තිබෙන්නේ ඔස්‌ටේ්‍රලියානු ව්‍යවස්‌ථාවෙන්. ඔස්‌ටේ්‍රලියානු ව්‍යස්‌ථාවේ 72 වන වගන්තියේ ඒ කාරණයම ඇතුළත් වී තිබෙනවා.

විනිශ්චයකාරවරුන් ඉවත් කිරීමේ බලය වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විතරක්‌ නොවෙයි, 1972 ව්‍යවස්‌ථාවේත් තිබුණා. 1947 ව්‍යවස්‌ථාවේත් සඳහන් වී තිබුණා. පළමුවෙන්ම අපි එය ක්‍රියාත්මක කළේ අග්‍රවිනිශ්චයකාර නෙවිල් සමරකෝන් මැතිතුමා කරපු කථාවක්‌ සම්බන්ධයෙනුයි. එදා ඒ සඳහා ස්‌ථාවර නියෝග සකස්‌ කර තිබුණේ නැහැ. එහෙත් ස්‌ථාවර නියෝග සකස්‌ කරන අතරතුර, එතුමා ඒ කථාව කළාද, නැද්ද කියන කරුණු සොයා බැලීම සඳහා වෙනම තේරීම් කාරක සභාවක්‌ පත් කළා. මමත් ඒ තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු හැටියට ක්‍රියා කළා. එතුමා ඒ කථාව කළා කියලා ඒ තේරීම් කාරක සභාවේ දී ඔප්පු වුණා. ඇත්ත වශයෙන්ම ඒ බව අග්‍රවිනිශ්චයකාරතුමාත් පිළිගත්තා. එහෙත් එතුමා කිව්වා එතුමා නීතිය කඩලා නැහැ කියලා. ඒ කාලය තුළ අප 1978 ව්‍යවස්‌ථාව යටතේ ස්‌ථාවර නියෝග ඇති කළා. මේ ස්‌ථාවර නියෝග ගෙනාවේ ඒ පසුබිමේදීයි. ස්‌ථාවර නියෝග සකස්‌ කොට, ඊට අනුකූලව 107 වගන්තිය යටතේ යෝජනාව ඉදිරිපත් කළා. එය ඉදිරිපත් කරන අවස්‌ථාවේදී ඒ කතාව කළ බවට කරුණු ඔප්පු වෙලා තිබුණා. නීති ප්‍රශ්නයක්‌ විතරයි තිබුණේ.

එහි වැඩකටයුතු සිදු කෙරෙද්දී නෙවිල් සමරකෝන් මැතිතුමා විශ්‍රාම ගිහින් තිබුණා. මා හිතනවා ඒ වාර්තාවේ වැදගත් තීන්දු තිබුණා කියා. එකක්‌, වුවමනා සාක්‍ෂි ගැන සඳහන් වී තිබීමයි. අනෙක විෂම පැවැත්ම පිළිබඳ නිර්වචනය කිරීමයි. ඊළඟ කරුණ ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාත්, ගරු අනුර බණ්‌ඩාරනායක හිටපු මන්ත්‍රීතුමාත් මා හිතන විදියට ගරු සරත් මුතෙට්‌ටුවේගම හිටපු මන්ත්‍රීතුමාත් පෙන්වා දුන් අඩුපාඩුකම්. ඔවුන් යෝජනා කළේ ඉන්දියානු ක්‍රමය අනුව ක්‍රියා කළ යුතු බවයි. ඉන්දියානු ව්‍යවස්‌ථාවේ සඳහන් වෙන්නේ මෙවැනි අවස්‌ථාවක මූලික පරීක්‍ෂණ කටයුතු විභාග කිරීම විනිශ්චයකාරවරුන් තිදෙනකුට බාර දිය යුතු බවයි.

දැන් මේ පාර්ලිමේන්තුව අගවිනිසුරුවරියට එරෙහි චෝදනා ගැන සොයා බැලීමට තේරීම් කාරක සභාවක්‌ පත් කර තියෙනවා. නෙවිල් සමරකෝන් සිද්ධියේදී මෙන් කරුණු සෙවීමට එක්‌ තේරීම් කාරක සභාවකුත්, පසුව 107 වගන්තිය යටතේ තවත් කාරක සභාවකුත් ආකාරයට නොව, කරුණු සෙවීමේ වගකීමත්, නෛතික තත්ත්වයන් මත තීරණ ගැනීමත් යන සියල්ලම එක කාරක සභාවකට පැවරී තියෙනවා. මෙය අධිකරණ බලය යෙදවීමේ සුදුසු ක්‍රියාමාර්ගයක්‌ද? ඒ පිළිබඳව අප අවධානය යොමු කළ යුතුයි. නැතිනම් පසුව ප්‍රශ්න ගණනාවක්‌ මතුවිය හැකියි. එක්‌ තේරීම් කාරක සභාවකට මේ සියල්ල සිදු කළ හැකිද යන්න ගැන අප ගැඹුරින් සොයා විමසා බැලිය යුතුයි. එසේ කළ නොහැකි නම් අප ගත යුතු පියවර කුමක්‌ද?

පොදු රාජ්‍ය මණ්‌ඩලයීය “ලැටිමර් හවුස්‌” ප්‍රතිපත්තියේ දී විශේෂයෙන් මේ ක්‍රමය ගැන සඳහන් කරලා තිබෙනවා. මේ ප්‍රතිපත්තිය සම්මත කෙරුණේ 2003 වසරේ නයිජීරියාවේ පැවති පොදුරාජ්‍ය මණ්‌ඩලයීය නායක සම්මේලනයේදීයි. ඉවත් කරලීමේ අවදානමට මුහුණ දී සිටින විනිශ්චයකරුවෙකුට, තමන්ට එරෙහි චෝදනා ගැන සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමේ අයිතියත්, පූර්ණ ලෙස නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා පරීක්‍ෂණයට සහභාගීවීමට අවස්‌ථාවත් ලබා දිය යුතු අතර, ස්‌වාධීන හා අපක්‍ෂපාතී අධිකරණයක්‌ ඉදිරියේ එය විභාග කළ යුතුය. නොවැම්බර් 15 වැනිදා පොදු රාජ්‍ය මණ්‌ඩලයේ මහලේකම් කමලේෂ් ෂර්මා දැන් ඉදිරිපත් වී තිබෙන යෝජනාව පිළිබඳ පහත සඳහන් ප්‍රකාශය නිකුත් කළා.

එතැන සඳහන් වන්නේ ස්‌වාධීන සහ අපක්‍ෂපාතී අධිකරණයක්‌ කියායි. අප ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව ක්‍රියාකළ යුතුයි. අපේ ව්‍යවස්‌ථාවට 107 වගන්තිය ඇතුළත් කරලීම උදෙසා ගරු කරගත් ඔස්‌ටේ්‍රලියාවේ මෙවැනි අවස්‌ථාවක්‌ උද්ගත වුණා. ඒ මර්ෆි විනිශ්චයකාරතුමන්ට එරෙහිව චෝදනා එල්ල වූ අවස්‌ථාවේදීයි. 1986 දී මර්ෆි විනිශ්චයකාරතුමා පිළිබඳව මේ ආකාරයේ යෝජනාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. ඒ අවස්‌ථාවේ ඔස්‌ටේ්‍රලියානු පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු විමර්ශන කොමිසම් පනත නමින් පනතක්‌ සම්මත කර ගත්තා. ඒ පනත අනුව මර්ෆි විනිශ්චයකාරතුමා පිළිබඳව සොයා බලන කමිටුවට විනිශ්චයකාරවරුන් තුන් දෙනෙක්‌ ඇතුළත් වුණා. කමිටුවේ වැඩ කටයුතු අවසන් වෙමින් යද්දී මර්ෆි විනිශ්චයකාරතුමා කමිටුවට දන්වා සිටියේ තමන්ට පිළිකාවක්‌ ඇති නිසා තව මාස කීපයකට වඩා ජීවත් විය නොහැකි බව වෛද්‍යවරු පවසන බවයි. එවිට කමිටුවේ විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තු නායකයන් මුණ ගැසී එතුමා මරණය අභිමුවේ සිටින නිසා තවදුරටත් මෙය ඉදිරියට ගෙන යැමෙන් පලක්‌ නැතැයි දන්වා සිටියා. ඒ නිසා එතැනින් ඉදිරියට වැඩ කටයුතු කෙරුණේ නැහැ. ඒ විනිශ්චයකාරවරුන් තිදෙනා මේ සිද්ධිය පිළිබඳව වාර්තා තුනක්‌ සකස්‌ කර තිබෙනවා. එය ඔස්‌ටේ්‍රලියානු පාර්ලිමේන්තුවෙන් ලබා ගෙන අධ්‍යයනය කරන්නේ නම් එය ඉතා වැදගත් වන බව මගේ හැඟීමයි.

මම කලිනුත් අවධාරණය කළ ආකාරයට අප මෙතැනදී ක්‍රියා කළ යුත්තේ ස්‌වාධීන හා අපක්‍ෂපාතී ලෙසයි. මේ සම්බන්ධ ජාත්‍යන්තර පූර්වාදර්ශයන් අප අධ්‍යයනය කළ යුතුයි. එසේ නොවුණහොත් ජාත්‍යන්තරය අපව ප්‍රශ්න කරාවි. අනෙක අපි පොදුරාජ්‍ය මණ්‌ඩලයීය පාර්ලිමේන්තුවක්‌. ඒ නිසා පොදුරාජ්‍ය මණ්‌ඩලයීය සම්මතයන් සහ ප්‍රකාශනයන් අපට හිතුමතේ බැහැර කරන්නට බැහැ.

අමෙරිකා එක්‌සත් ජනපදයේ මෙවැනි අවස්‌ථාවක්‌ උද්ගත වූ විට එය ඇරඹෙන්නේ නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය මගින් සිදු කරන පරීක්‍ෂණයකින්, ඉන් පසුව එය සෙනෙට්‌ සභාවෙන් විමසීමෙන් පසුවයි අවසන් තීරණයට එළැඹෙන්නේ එංගලන්තයේ මහජන මන්ත්‍රී මණ්‌ඩලයෙන් ආරම්භ කොට අවසානයේ සාමි මණ්‌ඩලයෙන් විමසීමෙන් පසුවයි තීරණයට එළැඹෙන්නේ. ඉන්දියාවේත් එහෙමයි. ලෝක්‌ සභාවෙන් අරඹා රාජ්‍ය සභාවෙන් අවසන් කෙරෙනවා. නෙවිල් සමරකෝන් සිද්ධියේදී අපි කමිටු දෙකක්‌ පත් කළේ අපට සභා දෙකක්‌ නැති නිසයි. අපට ඇත්තේ එක්‌ සභාවයි.

අනෙක්‌ විකල්පය ස්‌ථාවර නියෝග 78 Aග(4) පිළිබඳව සලකා බලා, අවශ්‍ය නම් එය සංශෝධනය කර ඒ ඔස්‌සේ ඉදිරියට යැමයි. ඒ සඳහා කෙටි කාලයක්‌ වැය වේවි. අගවිනිසුරුවරියට පිළිතුරු ලබා දෙන්න කල් දෙන නිසා, ඒ කාලය තුළ අප සියලු දෙනාටම එකඟත්වයකට පැමිණ මේ විකල්පය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අප එසේ නොකළහොත් අනාගතයේ ප්‍රශ්න ගණනාවක්‌ මතු වන්නට ඉඩ කඩ තියෙනවා.

අප හැමවිටම ක්‍රියා කළ යුත්තේ අපේත්, මේ සභාවේත් ගෞරවය ආරක්‍ෂා වන පරිදියි. මම මේ කතා කරන්නේ පුද්ගලයකු ගැන නෙවෙයි. ශිරාණි බණ්‌ඩාරනායක අගවිනිසුරුතුමිය මේ චෝදනාවන්ට සම්බන්ධ ද? ඇය සදොස්‌ ද, නිදොස්‌ද යන්න ගැනත් නෙවෙයි. මා මෙතැන පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙනුයි. ජනතා පරමාධිපත්‍යය වෙනුවෙනුයි. එක්‌සත් ජාතික පක්‍ෂය හැම විටම පෙනී සිටින්නේ ජනතා පරමාධිපත්‍යය වෙනුවෙනුයි. ජනතා පරමාධිපත්‍යය ආරක්‍ෂා කිරීම සඳහායි. අධිකරණයේ ස්‌වාධීනත්වය ජනතා පරමාධිපත්‍යයේම කොටසක්‌. අප හැමවිටම අධිකරණ ස්‌වාධීනත්වය ආරක්‍ෂා කළ යුතුයි.

ඒ කෙසේ වුවත්, මේ පාර්ලිමේන්තුව මෙම පරික්‍ෂණය ක්‍රියාත්මක කරද්දී ශිරාණි බණ්‌ඩාරනායක අග්‍ර විනිශ්චයකාරතුමියට අධිකරණ ක්‍රමවේදයේ තිබෙන හැම අයිතිවාසිකමක්‌ම අප ලබා දිය යුතුයි. ඒ එක්‌ අයිතිවාසිකමක්‌වත් කප්පාදු නොකළ යුතුයි. එතුමියට කාරක සභාවට පැමිණීමටත්, පිළිතුරු ලබා දීමටත් අවස්‌ථාව සැලසිය යුතුයි. ඒ අයිතිවාසිකම් අපි ආරක්‍ෂා කළ යුතුයි. එලෙසින්ම එතුමියට වුවමනා කාලය ලබා දිය යුතුයි. මේ පරීක්‍ෂණය මාසයෙන් අවසන් කරන බව සමහර මාධ්‍ය පළ කොට තිබුණා. එවැනි සීමා පැනවීම සුදුසු නැහැ. මේ සියලු චෝදනා ගැන ස්‌වාධීන හා අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ මාසයක්‌ තුළ පවත්වා අවසන් කිරීම ප්‍රායෝගික නැහැ.

නෙවිල් සමරකෝන් මැතිතුමාගේ පරීක්‍ෂණයේදී පළමුවැනි කමිටුවට මාස දෙකක්‌ පමණ කල් ගතවුණා. අනෙක්‌ කමිටුවට මාස තුනක්‌ ගියා. අප කාල සීමා නිර්ණය කළ යුත්තේ ඒ සියල්ල සලකා බැලීමෙන් පසුවයි. එතුමියට එරෙහි චෝදනා එල්ල කළ අයට ඒවා ඔප්පු කිරීමට කල් දෙනවා සේම, එතුමියටත් කරුණු ඉදිරිපත් කිරීමට කාලය සහ අයිතිය ලබා දිය යුතුයි. එතුමියගේ ඒ අයිතිය වෙනුවෙන් අප පෙනී සිටිනවා. ඒ අයිතිය ආරක්‍ෂා කරලීම සඳහා සටන් කරනවා. ඒ සටන් කරන්නේ පුද්ගලයකු නිසා නොවෙයි. මේ රටේ අධිකරණයේ ස්‌වාධීනත්වය යළිත් ඇති කරන්න තිබෙන වුවමනාව නිසායි.

අපේ පාර්ලිමේන්තුවටත් වඩා අපේ ශ්‍රේෂ්ඨාධිකරණය පැරැණි බව මෙහිදී අප අමතක නොකළ යුතුයි. 1802 වසරේදීයි ශ්‍රේෂ්ඨාධිකරණය ආරම්භ කෙරුණේ. මෙට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරතුමා, ඇලෙක්‌සැන්ඩර් ජොන්ස්‌ටන් අග්‍රවිනිශ්චයකාරතුමා, ඒ වාගේම කෝල්බෲක්‌ස්‌ කොමිසමේ චාල්ස්‌ හේ කැමරන් මැතිතුමා 1933 දුන්න අධිකරණ ප්‍රතිසංවිධානයක්‌ යටතේ තමයි අපේ අධිකරණය ඉදිරියට ගමන් ගත්තේ. ඒ ගෞරවයත් අපි ආරක්‍ෂා කළ යුතුයි.

මම විරුද්ධ පක්‍ෂයේ නායකයා හැටියට, තේරීම් කාරක සභාව නියෝජනය කරන විපක්‍ෂයේ මන්ත්‍රීවරුනට මේ ගැන විශේෂ උපදෙස්‌ ලබා දුන්නා. දේශපාලන මෙන්ම මාධ්‍ය අවශ්‍යතා අනුව නොව නීතිමය අවශ්‍යතා මත පමණක්‌ ක්‍රියා කරන්නැයි මම ඉල්ලා සිටියා. ඒ නිසා විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරුනට උපදෙස්‌ ලබා දීම සඳහා මම නීතිඥ මණ්‌ඩලයක්‌ පත් කළා.

නීතිපති දෙපාර්තමේන්තුව ගැනත් යමක්‌ සඳහන් කළ යුතුයි. දිවිනැඟුම පනත සම්බන්ධව කතානායකතුමාගේ නියෝගය උසාවියේදී අභියෝගයට ලක්‌ කළේ නීතිපති දෙපාර්තමේන්තුවයි. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුවත් මෙහි පාර්ශ්වකරුවකු විය යුතු බව මම අවධාරණය කරනවා. නීතිපති දෙපාර්තමේන්තුවට විරුද්ධව වරප්‍රසාද කඩ කිරීමේ යෝජනාවක්‌ අපේ සමහර මන්ත්‍රීවරු ඉදිරිපත් කරනවා. මීට පෙර සරත් එන්. සිල්වා අග්‍ර විනිශ්චයකාරතුමාගේ ප්‍රශ්නයේදී නීතිපති දෙපාර්තමේන්තුව අග්‍රවිනිශ්චයකාරවරයාට සහයෝගය දුන්නා. පාර්ලිමේන්තුවට සිදු වුණා වෙනමම නීති මණ්‌ඩලයක සහාය ලබා ගන්න. ඒ සඳහා පළමු වතාවේ මේ පාර්ලිමේන්තුව සමාව දුන්නා. දෙවන වතාවේ සමාව දෙන්න පුළුවන්ද? කථානායකතුමා දෙන තීන්දු පිළිගන්නට බැරි බව නීතිපති දෙපාර්තමේන්තුවම ගිහින් අග්‍ර විනිශ්චයකාරතුමියට කියනවා. ඒ පිළිබඳවත් අපේ අවධානය යොමු විය යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව මේ අයුරින් දිගින් දිගටම පාර්ලිමේන්තුවට එරෙහිව ක්‍රියා කරනවා නම් පාර්ලිමේන්තුව සඳහා වෙනම ම නීති මණ්‌ඩලයක්‌ ස්‌ථාවරව පත් කර ගැනීම ගැන සලකා බැලිය යුතුයි.