අතුරුදන්වී ඇති මාතර මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය සෙවීම සඳහා දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් පත්කර ඇත.
මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මාතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. ජයරත්න, කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි බෝගහවත්ත, හික්කඩුව පොලිස් ස්ථානාධිපති ධම්මික හපුගොඩ, ගාල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති චන්ද්‍රසේන යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පොලිස් කණ්ඩායම් පත්කර තිබේ.
මාතර මහ රෝහලේ සේවය කරන මෙම නිර්වින්දන වෛද්‍යවරිය 23 වැනිදා රෝහලේ සිට හික්කඩුවේ පිහිටි නිවස බලා තම මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී අතුරුදන් වී ඇත.
එරන්දි කුලසිංහ (28) නමැති ඇය අවසන් වතාවට තමන් වාහනයට ඉන්ධන ලබාගන්නා බව සැමියාට පැවසීමෙන් පසු දුරකථනය විසන්ධි කර ඇත. වෛද්‍යවරියගේ සැමියාද හමුදා රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකි.
මෙතෙක් සිදුකළ විමර්ශන අනුව වෛද්‍යවරිය පැහැරගෙන ගිය බවට සැක කළ හැකි තොරතුරක් ඊයේ (25 වැනිදා) දහවල් වන විටත් ලැබී නොතිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. වෛද්‍යවරියගේ ජංගම දුකථනයට මහනුවර ගුරුදෙණිය ප්‍රදේශයෙන් ඇමතුමක් ලැබී ඇති බවට පොලිසිය හෙළි කරගෙන තිබෙන අතර ඒ ඔස්සේ පොලිස් කණ්ඩායම් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
මේ සම්බන්ධයෙන් මාතර මහ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රවීන්ද්‍ර වීරසේකර මහතාගෙන් විමසූවිට පැවසුවේ මෙම වෛද්‍යවරිය නිවසට නොපැමිණි බවට දැන ගන්නට ඇති බවත් ඇය රෝහලේ සේවය අවසන් කොට 23 වැනිදා සවස නික්ම ගොස් ඇති බව වාර්තා වී ඇති බවත්ය.
Source: Divaina (Sri Lanka)