කොළඹ, ආමර්වීදිය ග්‍රෑන්ඩ්පාස් පාරේ නිවසක අබිරහස් ලෙස මියගොස් සිටි පියකුගේ මවකගේ හා පුතකුගේ මළ සිරුරු 3 ක් ආමර්වීදිය පොලිසියෙන් ඊයේ (26 වැනිදා) රාත්‍රි සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ ශිවලිංගම් ශ්‍රී කාන්තන් (38) කෝකිලවේ (24) හා වයස අවුරුදු දෙකක් පමණ වූ ශ්‍රීකාන්තන් සත්වේන් යන තිදෙනාය.
පියගේ සහ පුතාගේ සිරුරු නිවසේ කාමරයක ඇඳක් මතද මවගේ සිරුර විදුලිපංකා කොක්කක ගැටගැසූ කඹයකින් එල්ලෙමින් තිබූ බවද පොලිසිය පවසයි. මෙම තිදෙනා කිසියම් පිරිසක් ඝාතනය කළේද නැතහොත් සියදිවි නසාගෙන ඇතැයිද යන්න පිළිබඳ පරීක්ෂණ කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මියගොස් සිටි පවුල කුලී පදනම මත මාස 8 ක පමණ කාලයක් මෙම නිවසේ පදිංචිව සිට ඇත.
තිදෙනාගේ සිරුරු වල මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබිණි.
මේ පිළිබඳව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස්. බී. එස්. ගුණවර්ධන මහතාගේ උපදෙස් මත කොටහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත ඕවිටිගම. ආමර්වීදිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් දන්තනාරායන යන මහත්වරුන්ගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
හාඩ්වෙයාර් ව්‍යාපාරයක නිරත වී සිටි මියගිය පවුලේ ස්වාමිපුරුෂයා අධික ලෙස ණය වී සිටි බවද ඔවුන් ණය බේරා ගත නොහැකිව සියදිවි නසාගන්නට ඇතැයි සිතන බවද ඊයේ (26 වැනිදා) ආමර්වීදිය ප්‍රදේශයේ නිවසකින් සොයාගත් මරණ තුන පිළිබඳ අදහස් දක්වමින් අවට ප්‍රදේශවාසීහු zදිවයිනZට ප්‍රකාශ කළහ.
දුරකථනය දිගින් දිගටම නාද වුවත් එය කිසිවකු නොගන්නා බැවින් ඥතියකු පැමිණ ඊයේ (26 වැනිදා) සවස 6.15 ට පමණ නිවසේ දොර කඩා නිවසට ඇතුළු වූ පසු මෙම මෘතශරීර හමුවී ඇත. ස්වාමිපුරුෂයාගේ සහ දරුවාගේ මළසිරුරු තරම් බිරිඳගේ මළසිරුර නරක් නොවී තිබීම නිසා එම කාන්තාව ස්වාමියා හා දරුවා මරණයට පත්වීමෙන් පසු සියදිවි නසාගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
ණයකරුවන් නිතර තම ණය ඉල්ලමින් මියගිය අයව සොයාගෙන පැමිණි බවට ආරංචි තිබූ බවද ප්‍රදේශවාසීහු පවසති. මියගිය අයගේ නිවසේ තිබී සිරින්ජර් දෙකක් ද හමුවී ඇති අතර ඒවායින් මොවුන් වස එන්නත් කරගත්තාද යන්න ගැනද සැක පහළ වී තිබේ.
Source: Divaina (Sri Lanka)