බෙහෙත් පෙත්ත උගුරේ සිරවී තෙහැවිරිදි දරුවා මරු දකී

උණ රෝගයට ගත් බෙහෙත් පෙති භාගයක්‌ උගුරේ හිරවීමෙන් තුන් හැවිරිදි දරුවකු මියගොස්‌ ඇත. දොඩම්ගස්‌ලන්ද බලවත්තල යූ. එච්. යූ. ජී. ජානුක දිල්රුක්‌ පද්මසිරි (3) නමැති මෙම දරුවාට ප්‍රතිකාර ලබාගෙන ඇත්තේ බලවත්තල හන්දියේ පිහිටි පෞද්ගලික බෙහෙත් ශාලාවකිනි. පෙරේදා (28 දා) උදැසන මව දරුවා සමග ගොස්‌ බෙහෙත් රැගෙන විත් නිවසේදී ඔහුට පෙති භාගයක්‌ ලබා දී ජලය සමග ගිලීමට සලස්‌වා තිබේ. මේ අවස්‌ථාවේදී ඉතා අවාසනාවන්ත ලෙස එය දරුවාගේ උගුරේ සිරවී ඇත.

මව පිටට තට්‌ටු කළත් ප්‍රතිඵලයක්‌ නොවූ හෙයින් වහාම දරුවා බෙහෙත් ශාලාවට රැගෙන ගොස්‌ ඇත. එහිදී වෛද්‍යවරයා දරුවා රෝහලට රැගෙන යන ලෙස උපදෙස්‌ දී තිබේ. ඉන් පසු රිදීගම දිසා රෝහලට දරුවා රැගෙන ගොස්‌ ඇති අතර වෛද්‍යවරු එහිදී දරුවා පරීක්‍ෂා කර බලා ඇතත් ඒ වන විටත් ඔහු මියගොස්‌ සිට ඇත.

දරුවාගේ මරණ පරීක්‍ෂණ කටයුතු කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී සිදු කර ඇති අතර ගොකරැල්ල පොලිසිය ඒ සඳහා සහාය වී ඇත.

Source:  Divaina (Sri Lanka)