කථානායක ඇතුළු 12 දෙනා ආවත් නැතත් ශේ්‍රෂ්ඨාධිකරණ විමර්ශනය ජනවාරියේ

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එල්ල වී ඇති දෝෂාභියෝග චෝදනා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්‌ හමුවේ විභාග කිරීමේ ක්‍රියාවලිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 107 (3) වගන්තියට අනුකූලද යන්න ගැන ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය විමසා අභියාචනාධිකරණය විසින් යොමුකරන ලද ප්‍රශ්නය පිළිබඳව තීන්දුවක්‌ ගැනීම සඳහා වූ විමර්ශනය ජනවාරි 13 හා 14 යන දිනවල පැවැත්වීමට ශේ්‍රෂ්ඨාධිකරණය ඊයේ (30 වැනිදා) තීරණය කළේය.

පෙත්සම්වල වගඋත්තරකරුවන් වන පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සහ විශේෂ කාරක සභාවේ සාමාජිකයන් 11 දෙනාට මෙම විභාගය පවත්වන දින වහාම දැනුවත් කරන ලෙසද රෙජිස්‌ට්‍රාර්වරයාට නියම කෙරිණ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිත එකී ප්‍රශ්නය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට ලිතව කරුණු ඉදිරිපත් කිරීම සඳහා සතියක්‌ කල්දුන් අතර නීතිපතිට ඒ සඳහා තවත් සතියක්‌ කල් දුන්නේය.

ඊයේ (30 දා) අදාළ පෙත්සම් හත නිමල් ගාමිණී අමරතුංග, කේ. ශ්‍රී පවන් හා ප්‍රියසාද් ඩෙප් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවන ලදී.

එකී වගඋත්තරකරුවන් දොළොස්‌ දෙනාගෙන් එක්‌ අයකුවත් ඊයේ (30 දා) උසාවියට පැමිණ නොසිටි අතර ඔවුන් වෙනුවෙන් නීතිඥයන් පෙනී සිටියේ ද නැත.

විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු අමරතුංග මහතා සඳහන් කළේ වගඋත්තරකරුවන් වන කථානායකවරයා ඇතුළු දොළොස්‌ දෙනාම කළ දැනුම්දීම අනුව ඔවුන් උසාවියට නොපැමිණියත්, ලිත කරුණු ඉදිරිපත් නොකළත්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර ඇති ප්‍රශ්නය පිළිබඳව කරුණු විමසා බලා සිය මතය ප්‍රකාශයට පත්කරන බවයි.

ශේ්‍රaෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් වශයෙන් තමන් කරන්නේ ව්‍යවස්‌ථාවෙන්ම පැවරී ඇති රාජකාරියක්‌ බවත්, පාර්ලිමේන්තුවට බලපෑම් කිරීමට, අගෞරවයක්‌ කිරීමට, පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්‌ කිරීමට හෝ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මැදිහත්වීමට තමන්ට කිසිදු අදහසක්‌ හෝ උවමනාවක්‌ නැතැයි ඊයේ විවෘත අධිකරණය හමුවේ කරුණු සාකච්ඡා වූ අවස්‌ථාවේදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ශ්‍රී පවන් මහතා සඳහන් කළේය.

විනිසුරු මඬුල්ල හමුවේ මුලින්ම කරුණු දැක්‌වූවේ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනක්‌ ඊශ්වරන් මහතායි.

මේ සිද්ධියටම අදාළ මූලික අයිතිවාසිකම් නඩු කීපයක්‌ විභාගයට ගැනීමට තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නොතීසි වගඋත්තරකරුවන් භාරගෙන නැති බවත්, පාර්ලිමේන්තුවට බලපෑම් කිරීමට නොහැකි බව ප්‍රකාශ කරමින් නොතීසි භාරගැනීම ප්‍රතික්‌ෂේප කළ බවට කථානායකවරයා ප්‍රකාශයක්‌ කර ඇති බවත්, එම තත්ත්වය මත වගඋත්තරකරුවන්ට කළ දැනුම්දීම භාරගෙන උසාවිය හමුවේ පැවැත්වෙන විභාගයට ඔවුන් සහභාගි වේ යෑයි අපේක්‌ෂා කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥ කනක්‌ ඊශ්වරන් මහතා කීවේය. ඒ නිසා උසාවිය හමුවේ ඇති ප්‍රශ්නය පිළිබඳව ඉක්‌මන් විභාගයක්‌ පවත්වා තීන්දුවක්‌ ප්‍රකාශයට පත්කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

ඊළඟට නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා කියා සිටියේ ලිත දේශන ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් තමාට දැනුම්දීමක්‌ කර ඇති නමුත් එසේ කළ යුත්තේ කවර කාරණාවක්‌ ගැනද යන්න ලිපියේ සඳහන් කර නැති බවයි.

ව්‍යවස්‌ථා අර්ථකථනයක්‌ ඉල්ලා යොමුකළ ප්‍රශ්නයක්‌ පිළිබඳව විභාගයක්‌ පැවැත්වීමට ශේ්‍රෂ්ඨාධිකරණ රීති 64 (1) යන වගන්තියට අනුකූලව සිදුවිය යුතු බවත්, දැනුම්දීම නිසියාකාරව නොකිරීම අඩුපාඩුවක්‌ හැටියට මිස චෝදනාවක්‌ හැටියට එල්ල නොකරන බවත් නිතීපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කෝට්‌ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි, ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න, නීතිඥ නිමල් වීරක්‌කොඩි, චන්දන ජයරත්න සහ රාජ්‍ය නොවන සංවිධාන 03 ක ප්‍රධානීන්ගේ නමින් මෙම පෙත්සම් ගොනුකර ඇත. එම පෙත්සම් 07 ගොනුකර ඇත්තේ අගවිනිසුරුවරියට එල්ල වී ඇති දෝෂාභියෝග යෝජනා පාර්ලිමේන්තු කාරක සභාවක්‌ හමුවේ විභාගයට ගැනීමට එරෙහිවය.

සෙලින්කෝ ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවකු මෙම පෙත්සම් විභාගයට මැදිහත්වී තමන්ට සිදුව ඇති අසාධාරණයන් ගැන නීතිඥයකු මගින් කරුණු ඉදිරිපත් කිරීමට ඉල්ලා සිටියත් ඒ ඉල්ලීම විනිසුරු මඬුල්ල විසින් ප්‍රතික්‌ෂේප කරන ලදී.

එම ගෝල්ඩන් කී තැන්පත්කරු කොළඹ 06 සුරනිමල පෙදෙස පාමංකඩ පදිංචි රොෂාන් හරීන්ද්‍ර ප්‍රනාන්දු නමැති අයෙකි.

Source: Divaina