ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිල ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා කණ්‌ඩායම මෑත කාලයේ සහභාගිවන දීර්ඝතම ක්‍රිකට්‌ තරගාවලියට සහභාගිවීම සඳහා අද අලුයම (03 දා) ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව යැමට නියමිතය.

සති 8 ක කාලයක්‌ තිස්‌සේ පැවැත්වෙන අදාළ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම ඔස්‌ටේ්‍රලියාව සමගින් ටෙස්‌ට්‌ තරග 3 ක්‌, එක්‌දින තරග 5 ක්‌ සහ පන්දුවාර විස්‌සයි-20 තරග දෙකකට සහභාගිවනු ඇත.

මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්‌ඩායම ඊයේ (02 දා) රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පැවැති ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පිටත්ව ගියේය.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවනු ලබන පළමු තුන්දින පුහුණු තරගය මෙම මස 06 වැනිදා සිට 08 වැනිදා දක්‌වා කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර පළමු ටෙස්‌ට්‌ තරගය මෙම මස 14 වැනිදා හෝබාර්ට්‌හිදී ආරම්බවනු ඇත.

ශ්‍රී ලංකා කණ්‌ඩායමක්‌ අවසන් වරට ඔස්‌ටේ්‍රලියාවේදී ටෙස්‌ට්‌ තරගාවලියකට සහභාගිවන ලද්දේ ඉකුත් 2007 වසරේදී පැවැති තරග 2 කින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලිය වන අතර එම තරගාවලිය 2-0 ක්‌ වශයෙන් ජය ගැනීමට සත්කාරක ඔස්‌ටේ්‍රලියානු පිල සමත්විය.

ලොව වැඩිම ටෙස්‌ට්‌ කඩුලු ලාභීන් දෙදෙනා වන මුත්තයියා මුරලිදරන් සහ ෂේන් වෝන් දෙදෙනාම අදාළ තරගාවලියේදී සිය රටවවල් නියෝජනය කිරීම මත දෙරට අතර ටෙස්‌ට්‌ තරගාවලිය වෝන්-මුරලි කුසලාන යනුවෙන් ප්‍රථමයෙන්ම නම් තැබිණ.

1995 වසරේදී ටෙස්‌ට්‌ තරග 3 කින් සමන්විත තරගාවලියකට සහභාගිවීමෙන් අනතුරුව නැවතත් තරග 3 කින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලියක්‌ සඳහා ශ්‍රී ලංකාව ඔස්‌ටේ්‍රලියාවේදී සහභාගිවනු ලබන පළමු තරගාවලිය වශයෙන්ද මෙම තරගාවලිය හැඳින්විය හැක.

එමෙන්ම මෙවර තරගාවලියේදී දෙසැම්බර් 26 වැනි දින මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන සුවිශේෂීම ටෙස්‌ට්‌ තරගය වන ඓතිහාසික බොක්‌සිං දින ටෙස්‌ට්‌ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාවද ශ්‍රී ලංකා කණ්‌ඩායමට උදාවී තිබේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායමක්‌ මෙතෙක්‌ ඔස්‌ටේ්‍රලියානුවන්ට එරෙහිව ඔවුන්ගේ මව්බිමේදී ටෙස්‌ට්‌ තරග ජයක්‌ අත්කර ගැනීමට අසමත්වී සිටීමද කැපී පෙනෙයි.

ශ්‍රී ලංකා කණ්‌ඩායම – මහේල ජයවර්ධන(නායක), ඇන්ජලෝ මැතිව්ස්‌(උප නායක), ටී. එම්. ඩිල්ෂාන්, කුමාර් සංගක්‌කාර, තරංග පරණවිතාන, තිලාන් සමරවීර, ප්‍රසන්න ජයවර්ධන, රංගන හෙරත්, නුවන් කුලසේකර, ශමින්ද එරංග, සුරාඡ් රන්දීව්, දිනේෂ් චන්දිමාල්, චානක වෙලගෙදර, නුවන් ප්‍රදීප්, ධම්මික ප්‍රසාද් සහ දිමුත් කරුණාරත්න. (චමිල කරවිට)

Source: Divaina (Sri Lanka)