තනතුරෙන් බැබළීමට කිසිවකුට අයිතියක්‌ නෑ

තනතුරෙන් බැබළීමට කිසිවකුට සදාචාරවත් අයිතියක්‌ නැති බවත්, ඉන් බැබළිය යුත්තේ ඔවුන් නියෝජනය කරන සමාජය බවත් ජනාධිපති මහින්ද රාපක්‌ෂ මහතා ප්‍රකාශ කළේය. පුද්ගලයාට සාධාරණය ඉටු කරනවාට වඩා ජනතාවට සාධාරණය ඉටු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ජනතාවට සාධාරණය ඉටුකිරීමට රජය ගත් තීන්දුව කිසිසේත් ආපසු හරවන්නට සූදානම් නැතැයි ද අවධාරණය කළේය.

පුද්ගලික න්‍යාය පත්‍ර අමතක කර ජනතා න්‍යාය පත්‍රය අතට ගැනීමට සියලු නිලධාරීන් සූදානම් විය යුතු බවද හෙතෙම කියා සිටියේය.

ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහා නායක පදවියෙන් පිදුම් ලැබූ ගොම්බද්දල නන්දාරාම මහා නාහිමිපාණන්ට උපහාර පිදීම උදෙසා ඊයේ (10 දා) පෙරවරුවේ ගොම්බද්දල ශෛලාරාම විහාරස්‌ථානයේ පැවති උත්සවයට සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා එහිදී මෙම අදහස්‌ පළ කර සිටියේය.

මේ රටට උදා කළ නිදහසත්, ගොඩනඟන මේ සංවර්ධනයත් රජයට හීනයක්‌ නොවුණේ නිරන්තරයෙන් ජනතා අවශ්‍යතාවට මුල් තැන දී කටයුතු කිරීමේ ප්‍රතිපත්තිය නිසා බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. වෛරය, ක්‍රෝධය බැහැර කර මාතෘ භූමිය පිළිබඳ හැඟීමෙන් කටයුතු කිරීමට සියලුදෙනා කැපවිය යුතු බවද හෙතෙම කියා සිටියේය.

උපන් ගමටත්, රෝහණ දේශයටත්, සමස්‌ත ශ්‍රී ලංකා දේශයටත් ඉතා වටිනා ශාසනික හා ජාතික මෙහෙවරක්‌ ඉටු කළ ගොම්බද්දල නන්දාරාම මහා නාහිමිපාණන්වහන්සේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ තෙවන මහා නාහිමියන් ලෙස පත්ව ඇත.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ගොම්බද්දල නන්දාරාම මහා නාහිමිපාණන් මෙම මහානායක පදවිය ලබමින් ලද ආශිර්වාදය සමස්‌ත සම්බුද්ධ ශාසනයට පමණක්‌ නොව රටටත්, ජාතියටත් හිsමිවූ ආශිර්වාදයක්‌ බවයි.

අභිනව මහා නාහිමිපාණන් වෙත විශේෂ තිළිණයක්‌ පිළිගැන්වීම මෙහිදී ජනාධිපතවරයා අතින් සිදු විය. අක්‌තපත්‍ර පිළිගැන්වීම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා අතින්ද විජිනිපත අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම මහතා අතින්ද පිළිගන්වන ලදී.

රෝහණ පාර්ශ්වයේ අනුනායක සිත්තම්ගල්ලෙන රජමහා විහාරාධිපති ගලබඩ පියසිරි නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද මෙම අවස්‌ථාවට වැඩම කර සිටියහ. (මුලටියන – කේ. වසන්ත)

Source: Divaina (Sri Lanka)