දැන් මරණ 16 යි, තවත් 13 දෙනකු අතුරුදන්

ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 8කට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඇතිවූ නායයැම්, ජල ගැලීම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් ඊයේ (18 දා) සවස වනවිට පුද්ගලයන් 16දෙනකු මියගොස්‌ 20දෙනකුට ආසන්න පිරිසක්‌ තුවාල ලබා ඇති අතර තවත් 13දෙනකු අතුරුදන්ව තිබේ.

පවුල් පන්දහස්‌ දෙසිය දෙකකට අයත් පුද්ගලයන් විසිඑක්‌ දහස්‌ එකසිය විසි දෙනකු විපතට පත්ව ඇති අතර හයදහස්‌ තුන්සිය දොළොස්‌ දෙනෙක්‌ අවතැන් කඳවුරු 29ක රැඳී සිටිති.

දිවයිනේ ප්‍රදේශ රැසකට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවූ ආපදාවලින් දුම්රිය ගමනාගමනය ඇතුළු ප්‍රවාහන සේවයට ද ජනතාවගේ දෛනික වැඩකටයුතුවලට ද දැඩි බාධා එල්ල වී තිබිණ.

මේ නිසා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසකට පෙරේදා (17 දා) හා ඊයේ (18 දා) දිනවල දැඩි දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවූ අතර ඇතැම් සිසු සිසුවියන්ට ඒ සඳහා පෙනී සිටීමටද නොහැකි විය.

පෙරේදා (17 දා) වාර්තාවූ මරණ පුද්ගල 9 කට අමතරව ඊයේ (18 දා) තවත් බිලිඳු මරණයක්‌ වාර්තා වූයේ බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ තෙල්දෙණිය ප්‍රදේශයෙනි.

නිවසේ බිත්තියක්‌ කඩා වැටීමෙන් එයට යටවූ බිලිඳියක්‌ මරණයට පත්වූ අතර ඊට යටවූ සිව් හැවිරිදි දැරියක්‌ සහ නව හැවිරිදි දරුවෙක්‌ ඊයේ (18 දා) රෝහල්ගත කරනු ලැබූහ.

පොළොන්නරුව ගම්මඩුව මාර්ගයේ ධාවනය කරමින් තිබූ වෑන් රථයක්‌ මතට රත්තොට සියඹලාගොල්ල රාජාංගණ වංගුවේදී ගසක්‌ කඩා වැටීමෙන් තිදෙනකු මියගොස්‌ හත් දෙනකු තුවාල ලබා තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වයෙන් ඊයේ (18 දා) කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයටද ජල ගැල්මෙන් හානි සිදුවී තිබිණි. රිදීගම, මාවතගම, ඉබ්බාගමුව, විල්ගොඩ වැල්ලව යන ප්‍රදේශවල පවුල් එක්‌දහස්‌ පන්සියයකට අයත් පුද්ගලයන් හයදහසක්‌ පමණ දෙනා විපතට පත්ව තිබේ.

දැදුරුඔය පිටාර ගැලීමෙන් කුරුණෑගල අනුරාධපුර මාර්ගය යටවී තිබේ. දැදුරුඔය, මහබුත්ගමුඔය හා කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කුඩා වැව් සියල්ලම පිටාර ගලමින් තිබිණි. මේ නිසා නිවස, මහාමාර්ග අතුරු මාර්ග හා පහත් බිම් ජලයෙන් යටවී ඇත. කුරුණෑගල රෝහල අවට ප්‍රදේශය ජලයෙන් යටවී ඇතැම් මාර්ගවල ගමනාගමන කටයුතු අඩාලවී ඇත.

වස්‌ගමුව හා නකල්ස්‌ රක්‍ෂිත නැරඹීමට ගිය පුද්ගලයන් 77 ක්‌ එම රක්‍ෂිතවල කොටුවී ඇති අතර නාවික හමුදාව ඔවුන් බේරාගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මහියංගණය දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රධාන මාර්ගයේ උල්හිටිය යකඩ පාලම ගංවතුරට කැඩීයැමෙන් පවුල් 150 ක්‌ අවතැන්ව සිටිති. දැදුරුඔය රිදීබැඳිඇල්ල පිටාර ගැලීමෙන් එහි තැනින් තැන බැම්මෙන් ජල කාන්දුවීම නිසා නිවාස 200 ක්‌ පමණ යටවී තිබේ.

කුඩාඔය පිටාර ගැලීමෙන් අලව්ව ප්‍රදේශයේ මාර්ග ගණනාවක්‌ ජලයෙන් යටවී යැමෙන් (18 දා) රථ වාහන ගමනාගමනය අඩාලවී ඇත වගා බිම් කීපයක්‌ ද ජලයෙන් යටවී විනාශවී තිබේ.

අලව්ව, ගිරිඋල්ල මාර්ගයේ කුඩගම්මන මහරච්චිමුල්ල, මැටියගනේ, පැලවත්ත, අලව්ව, නාරම්මල මාර්ගයෙහි දම්පැලැස්‌ස සහ පහළගම ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ. කුඹුරු හා ගොඩ ගොවිතැන් සම්පූර්ණයෙන් විනාශවී ගොස්‌ ඇත.

රත්නපුර දිස්‌ත්‍රික්‌කයට දින දෙකක්‌ තිස්‌සේ ඇදහැලෙන අධික වර්ෂාව නිසා මැණික්‌ පතල් කර්මාන්තය තාවකාලිකව අත්හිටුවීමට මැණික්‌ පතල්කරුවන් තීරණය කර ඇත.

ඊයේ (18 දා) වනවිට කිරිඳිගඟ සහ දෙනවක ගඟේ ජල මට්‌ටම ඉහළයැම නිසා තවදුරටත් අධික වර්ෂාව පැවතුණහොත් ගංවතුර තත්ත්වයක්‌ ඇති විය හැකි බවද පැල්මඩුල්ල පතල්කරුවෝ පවසති.

කල්මුණේ අම්පාර, කල්මුණේ, මන්ඩුර්, අම්පාර, මහඔය, සමන්තුරය, සොරිකල්මුණේ යන මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති විය. අම්පාර දිස්‌ත්‍රික්‌කයේ වෙරළබඩ ප්‍රදේශවල පහත්බිම් රැසක්‌ද ජලයෙන් යටවී ඇත.

තිස්‌සමහාරාම ප්‍රදේශයේ ප්‍රධාන වැව් 4 ක්‌ පිටාර ගැලීම නිසා ප්‍රධාන මාර්ග රැසක්‌ ඊයේ (18 දා) ජලයෙන් යටවී තිබිණි.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමයින් ඇතුළු ජනතාවගේ ජන ජීවිත අඩාල වී තිබෙන අතර වාහන ගමනාගමනයට බලපෑම් එල්ලවී ඇත.

අනුරාධපුරය – කුරුණෑගල (ඇල්ල පාර) ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම නිසා වාහන ගමනාගමනය මුළුමණින්ම නතර වී තිබේ.

දැදුරුඔය පිටාර ගැලීම නිසා එම අවට මාර්ග අඩි 8 ක්‌ පමණ ජලයෙන් යටවී තිබිණි. වෙළෙඳසල්, නිවාස ඇතුළු ගොඩනැඟිලි රැසක්‌ද ජලයෙන් යටවී ඇත.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පවුල් 400 ක්‌ පමණ ජල ගැලීම් නිසා අවතැන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්‌කාර මහතා පැවසීය.

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් කොළඹ – මඩකලපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත. දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පවුල් 30 ක්‌ පමණ අවතැන්ව සිටිති.

වලපනේ ප්‍රදේශය නායයැමේ අවදානම් කලාපයක්‌ ලෙසට ප්‍රකාශයට පත්කර තිබේ. වලපනේ ඇතුළු ප්‍රදේශ කිහිපයක මාර්ගවලට පස්‌ කඳු කඩාවැටීම නිසා ගමනාගමන කටයුතු ඇනහිට තිබේ.

අධික වර්ෂාව නිසා රත්තොට, නාඋල, ලග්ගල ප්‍රදේශවල නිවාස 350 ක්‌ පමණ හානියට පත්ව ඇත. මහවැලි ගඟ හා අඹන් ගඟ පිටාර ගැලීමෙන් අවට නිවාස හා මාර්ග රැසක්‌ ජලයෙන් යටවී තිබිණි.

රත්තොට ප්‍රදේශයට අයත් නිකලොය වත්තේ ඉහළ කොටසේ පස්‌ කඳු කඩාවැටීම නිසා පවුල් 200 ක්‌ පමණ කොටුවී සිටින අතර ඔවුන් බේරා ගැනීමට යුද හමුදාව හා පොලිසිය එක්‌ව පියවර ගනිමින් සිටිති.

කොළමුණඔය පිටාර ගැලීමෙන් තදාසන්න ගම්මාන රැසක ජන ජීවිතය අඩාල වී ඇත. විපතට පත් පවුල් හඳුනාගෙන සහනාධාර ලබාදීමට කටයුතු කරමින් පවතී.

මධ්‍යම කඳුකරයේ නකල්ස්‌ කඳුවැටියේ පවතින අධික වර්ෂාව නිසා නායයැම්, ඉඩම් දේපළ හා නිවෙස්‌වලට හානි සිදුව ඇත. සියලුම ඇළ දොළවල් ඉතිහාසයේ නොවූ විරූ අයුරින් උතුරා යමින් තිබේ.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 07 ක පදිංචි පවුල් එක්‌දහස්‌ පන්සියයකට අයත් පුද්ගලයන් පන්දහස්‌ පන්සිය හතළිස්‌හතරක්‌ ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව ඇතැයි දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකකය කියයි.

දිඹුලාගල, ඇලහැර, හිඟුරක්‌ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලින් නිවාස හානි 43 ක්‌ වාර්තා වී තිබේ.

අවතැන්වූ පිරිස්‌ මේ වන විට කඳවුරු ගතකොට අවශ්‍ය සුබසාධක කටයුතු සලසා ඇතැයි පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්‌කාර මහතා ප්‍රකාශ කළේය.

ඇලහැර, දිඹුලාගල, තමන්කඩුව, ලංකාපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල මේ වන විට අවතැන්වූ පිරිස්‌ සඳහා කඳවුරු 17 ක්‌ පිහිටුවා ඇති බවත්, එහි පවුල් 1372 කට අයත් පුද්ගලයන් 5122 ක්‌ නවාතැන්ගෙන සිටින බවත් ඒ මහතා පැවසීය.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ මහ වැව් සියල්ලකම ජල මට්‌ටම් ශීඝ්‍රයෙන් ඉහළ නගිමින් පවතින අතර පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය මේ වන විට වාන් දමමින් පවතී.

එහි ජල මට්‌ටම අක්‌කර අඩි 1,10,000 ක්‌ ඉක්‌ම යැමෙන් පසුව වාන් දොරටු 10 න් 06 ක්‌ අඩි 01 බැගින් විවෘත කොට අතිරික්‌ත ජලය පිටතට මුදාහැරීමට පියවර ගත් බව පරාක්‍රම සමුද්‍රය වාරි ඉංජිනේරු එච්. එම්. යූ. බී. හේරත් මහතා “දිවයින” ට පැවසීය.

මේ අතර මහවැලි බී. කලාපයේ පිඹුරත්තෑව ජලාශය, එන්.ඩී.කේ. ජලාශය, ඇල්ලේ වැව ආදී වැව් මේ වන විට පිටාර ගලමින් තිබේ.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ වගා කරන ලද කුඹුරු අක්‌කර හැත්තෑදහසකට අධික ප්‍රමාණයක්‌ මේ වන විට ජලයෙන් යටවී ඇත.

මහවැලි ගඟ, අඹන් ගඟ, කුඹුක්‌කන් ආරුව, තලපත් ආරුව ආදිය පිටාර ගැලීම හේතුවෙන් විශාල කුඹුරු ප්‍රමාණයක්‌ ගංවතුරට හසුවී තිබේ.

පොළොන්නරුව, මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප්‍රදේශයේ ස්‌ථාන ගණනාවක්‌ ජලයෙන් යටවී ඇති අතර එහි ජල මට්‌ටම අඩි 09 ක්‌ පමණ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ.

Source: Divaina (Sri Lanka)