පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හා කථානායකට උසාවි එන්නැයි නොතීසි

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි චෝදනා විභාග කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ගත් තීරණ බල රහිත කර අවලංගු කරන්නැයි ඉල්ලා ඇය ගොනුකළ ‘රිට්‌’ පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ පිළිබඳ විභාගයක්‌ පැවැත්වීම සඳහා පෙත්සමේ වගඋත්තරකරුවන් වන පාර්ලිමේන්තුවේ කථානායකට සහ විශේෂ කාරක සභාවේ සාමාජිකයන් සියලු දෙනාටම නොතීසි නිකුත් කිරීමට ඊයේ (21 වැනිදා) නියෝග කළේය.

පෙත්සම් විභාගය 2013 ජනවාරි 03 දා පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ කථානායකට හෝ විශේෂ කාරක සභාවේ සාමාජිකයන්ට අධිකරණය මගින් නිකුත් කරනු ලබන නියෝග, නොතීසි බාර නොගන්නා බවට තීන්දුවක්‌ ගෙන එම තීන්දුව ඔහු ප්‍රකාශයට පත් කර ඇති බව තමන් දන්නා නමුත් නොතීසි නිකුත් කිරීමට නියෝග කළේ එසේ කිරීමට අධිකරණය නීතියෙන් බැඳී සිsටින නිසා යෑයි විනිසුරු මඩුල්ල සඳහන් කළහ. තවද අගවිනිසුරුවරියගේ පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට අදහස්‌ ඉදිරිපත් කිරීමට අවස්‌ථාවක්‌ දිය යුතු යෑයි ද විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සඳහන් කළහ.

පෙත්සම පිළිබඳ විභාගයක්‌ පවත්වා අවසන් වන තුරු අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් කිසිදු පියවරක්‌ ගැනීම කථානායකට සහ විශේෂ කාරක සභාවට තහනම් කරන්නැයි අගවිනිසුරුවරිය පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

ඒ සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ලේ ස්‌ථාවරය වූයේ පෙත්සම් විභාගය අවසන් වන තෙක්‌ දෝෂාභියෝග චෝදනා විභාගයට අදාළව දැනට පවතින තත්ත්වයෙන්ම තිබීමට ඉඩ හැරීම වඩා යෝග්‍ය වන බවයි.

අගවිනිසුරුවරිය චෝදනා 03 කට වරදකරු බවට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ගත් තීරණය අවලංගු කිරීමට ඇගේ පෙත්සම විභාග කිරීමෙන් පසුව උසාවිය තීරණය කරනු ලැබුවහොත් ඇයට එරෙහිව ගෙන තිබූ පියවරයන් ද අහෝසි වනු ඇත.

එනිසා උසාවිය දෙන මෙම උපදේශය පිළිපදින ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි විනිසුරු මඩුල්ල එසේ නොවුවහොත් අර්බුදකාරී හා අවුල් සහගත තත්ත්වයක්‌ ඇති විය හැකි බව ද සඳහන් කළහ.

වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර විභාගයක්‌ පැවැත්වීමට තරම් කරුණු බැලූ බැල්මට පෙනෙන්නට ඇතැයි ද විනිසුරු මඩුල්ල තීරණය කළහ.

අභියාචනාධිකරණයේ සභාපති ශ්‍රී ස්‌කන්ධරාජා, අනිල් ගුණරත්න, ඒ. ඩබ්ලිව්. ඒ. සලාම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලූහ.

පෙත්සම විභාගයට නියම කරන්නැයි ඉල්ලා අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සැකවින් විනිසුරු මඩුල්ල ඊයේ (21) ප්‍රකාශයට පත් කළ තීන්දුවලට ඇතුළත් කර තිබිණි.

පුද්ගලයන්ගෙන් සමන්විත කිසියම් ආයතනයක්‌ ජනතාවගේ අයිතිවාසිකම්වලට හානිදායක යම් තීන්දුවක්‌ ගෙන ඇත්නම් ඒවා සමාලෝචනය කිරීමට ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයට අධිකරණ බලයක්‌ ඇති බවත්, ඒ බලය උදුරා ගැනීමට ව්‍යවස්‌ථාදායකයට හෝ විධායකයට හැකියාවක්‌ නැති බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයේදී පැවැසීය.

චෝදනාවලට පිළිතුරු දීමට අගවිනිසුරුවරියට ප්‍රමාණවත් කාලසීමාවක්‌ නොදීම, ඒ සඳහා ඇයගේ නීතිඥවරුන් කළ ඉල්ලීම විශේෂ කාරක සභාව මගින් ප්‍රතික්‍ෂේප කිරීම, කාරක සභාව පක්‍ෂග්‍රාහීව කටයුතු කිරීම, අගවිනිසුරුවරිය චෝදනා 03 කට වැරදිකරු බවට විශේෂ කාරක සභාව ගත් තීන්දුව සාධාරණ යුක්‌තියේ මූලධර්මවලට පටහැනි වීම පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ නොව අධිකරණ නිලධාරින් විසින් අධිකරණය හමුවේ නඩු විභාගයක්‌ පැවැත්විය යුතු යෑයි කියා සිටිමින් අගවිනිසුරුවරියගේ නීතිඥයන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට යොමු කළ බව ද විනිසුරු මඩුල්ල සිය තීන්දු ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි, සාලිය පීරිස්‌, කේ. එම්. පීරිස්‌, සුගත් කල්දේරා, රියාද් අමීන්, බුද්ධික ඉලඟතිලක, මංජුලා ප්‍රනාන්දුපුල්ලේ, ෂානක කුරේ, ඉරාඡ් සිල්වා, වසන්ත කුමාර් ද සිල්වා යන නීතිඥවරු අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටියහ.

පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්‍ෂ, විශේෂ කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා සහ සෙසු සාමාජිකයන් දසදෙනා හා පාර්ලිමේන්තුවේ මහා ලේකම් පෙත්සමේ නම් සඳහන් වගඋත්තරකරුවෝ වෙති.

Source: Divaina (Sri Lanka)