දයාවෙන් සහ අවබෝධයෙන් ඉවසීම, සාමය තහවුරු කරමු

නත්තල සැමරීම සනිටුහන් කරන දයාවේ හා අවබෝධයේ කිතුනු ඉගැන්වීම් අප රටේ මේ වනවිට ගොඩනැඟê ඇති සංහිඳියාවේ, ඉවසීමේ, හා සාමයේ සබඳකම් ශක්‌තිමත් කිරීමට ඉවහල් වනු ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නත්තල් දිනය වෙනුවෙන් පණිවිඩයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නත්තල් පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලාංකික කිතුනුවෝ අද දින සාමයේ කුමරු ඡේසුස්‌ ක්‍රිස්‌තුන්ගේ උපත සැමරීමට ලොව පුරා සිය සහෝදර භක්‌තිකයන් සමග එක්‌ වෙති.

කිතු දහමේ මූලික හරය වන සැමට දයාව දැක්‌වීමේ පණිවුඩය ලොවට ගෙන ආ ඡේසුස්‌ ක්‍රිස්‌තුන්ගේ උපත සමරන මෙම උතුම් උත්සවයේදී සිය පවුල් හා ප්‍රජාවන් සමග එක්‌වීමෙන් ඔවුහු නත්තලේ මූලික අරුත වන දයාව බෙදා ගනිති.

නත්තල සැමරීම සනිටුහන් කරන දයාවේ හා අවබෝධයේ කිතුණු ඉගැන්වීම් අප රටේ මේ වන විට ගොඩනැඟê ඇති සංහිඳියාවේ ඉවසීමේ හා සාමයේ සබඳකම් ශක්‌තිමත් කිරීමට ඉවහල් වනු ඇත.

ඡේසුස්‌ ක්‍රිස්‌තුන්ගේ උපත බෙත්ලෙහෙමේ ගවහලක සිදුවීම තුළින් සැමට නොමසුරුව දයාව දැක්‌වීමෙහි ඇති වැදගත්කම ලොවට කියා දෙයි. එය සමාජයේ ඉහළ සිට පහළම කොටස්‌වලට ලෝකය අප සමග බෙදා ගන්නා සියලුම ජීවීන්ට මෙන්ම අප සියලු දෙනා පෝෂණය කරන සොබා දහමට ද මෙම දයාව දැක්‌වීමේ අගය මනා ලෙස පෙන්නුම් කරයි.

මෙම උත්සව සමයේදී නත්තල් සීනු හඬ සියලු දෙනාට ම සාමයේ සහ සතුටේ සුබ පණිවුඩය ගෙනෙනු ඇත.

ඔබ සියලු දෙනාට ප්‍රීතිමත් හා සාමකාමී නත්තලක්‌ පතමි.