සැහැසි වූ චණ්ඩ රළ පෙළ නොමිනිස් වෙස්ගෙන ගොඩබිමටවිත් කළ සුනාමි මහා විපත සිදුවී අට වසරක් සපිරි ඊයේ (26) රටපුරා සර්ව ආගමික වත්පිළිවෙත්වලට මුල්තැන දෙමින් ජාතික ආරක්ෂිත දිනය හැඟුම්බරව සැමරූහ.
සුනාමියෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට පුණ්‍යානුමෝදනා කිරීම හා විපතට පත්ව අභීතව නැඟී සිටි පිරිසට ආශීර්වාද ප්‍රාර්ථනා කිරීම සර්ව ආගමික වැඩසටහන්වල මුඛ්‍ය පරමාර්ථය විය.
හතලිස් දහසකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ජීවිත සයුරු රළ අතරේ සඟවාලූ තත්ත්පර කිහිපය ඊයේ (26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙක නිශ්ශබ්දතාවයෙන් රට පුරා සැමරූහ.
2006 වසරේ දී දෙසැම්බර් 26දා ජාතික ආරක්ෂිත දිනය ලෙස නම් කිරීමෙන් අනතුරුව ඊයේ පෙරවරුවේ ජාතික උත්සවය ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති අතර කථානායක චමල් රාජපක්ෂ, ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දහස් ගණනකට එක් ස්ථානයක දී මරුකැඳවූ සුනාමි දුම්රිය සිහිපත් කරමින් හික්කඩුව පැරෑලියේ පැවැති උත්සවය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රට පුරා මේ ශෝකී අවස්ථාවට මුහුණ දුන් ජනතාව ජීවිත අහිමි වූ දහස් ගණන් ඥාතීන් හිතමිත්‍රාදීන් සිහිපත් කරමින් මේ අවස්ථාව සිහිපත් කළ අතර පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා එම පිරිස සිහිපත් කළහ.
මේ අනතුරට මුහුණ දුන් සුනාමි දුම්රිය අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව පිරිත් සජ්ඣායනා කරමින් ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ඇතුළු දුම්රියේ ගමන් ගත් පිරිසද හික්කඩුව පැරෑලියේ පැවැති උත්සවයට එක්වූහ. මේ අතර හයදහසකට අධික පිරිසකට මරු කැඳවූ මඩකළපුව දිස්ත්‍රික්කය ඇතුළු සෑම දිස්ත්‍රික්කයකම සුනාමි සැමරුම් උත්සව පැවැත්විණි.
මේ අතර ආපදා සම්බන්ධයෙන් ජනතාවගේ දැනුවත්භාවය වර්ධනය කිරීම, ආපදා වැළැක්වීම, අවම කිරීම හා පූර්ව සූදානම කෙරෙහි ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා විශේෂ වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ. අනපේක්ෂිතව හටගත් සුනාමි ව්‍යසනය හේතුවෙන් බිඳ වැටුණු රටවල් අතරින් කඩිනමින් ගොඩනැඟුණු රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වාදීමට හැකිය.
මෙම දරුණු ව්‍යසනය සිදුවෙද්දී එවකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විදෙස්ගතව සිටි බැවින් එවකට අගමැතිව සිටි වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කඩිනමින් ජනතාවට සහන සැලසීමට ක්‍රියා කළ අතර ජාති, කුල මල ආගම් භේදයකින් තොරව එකාවන්ව කටයුතු කිරීම මඟින් රට ගොඩනැගීමට හැකිවූ බව විද්වත්හු පවසති.
Source: Dinamina (Sri Lanka)
Image courtesy of Dinamina (Sri Lanka)