පාර්ලිමේන්තුවට බලපෑම් කරන්න තුන්වන පාර්ශ්වයකට බලයක් නැහැ, අධිකරණ අර්ථනිරූපනය ප්‍රතික්ෂේප කරනවා

පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් තුන්වන පාර්ශ්වයක් මැදිහත්විමට නීතිමය බලතල නැතැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා අවධාරණය කරයි. එම නිසා අභියාචනාධිකරණය මඟින් ලබාදුන් අර්ථ නිරූපනය ප්‍රතික්ෂේප කරන බවද නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී ඊයේ (03) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් නියෝජ්‍ය කතානායකවරයා මෙම අදහස් පළ කළේය.

දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට අදාළ කටයුත්තක් බව පෙන්වාදුන් වීරක්කොඩි මහතා මීට පෙර පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් කිසිදු ආයතනයකට සාක්ෂි ලබාදිමට පාර්ලිමේන්තු නිලධාරියකු හෝ මහජන නියෝජිතයකු හෝ ගොස් නැති බවද අනාවරණය කළේය. අභි‍යාචනාධිකරණයට ගොස් ඇති මන්ත්‍රීවරුන් පිළිබඳව වරප්‍රසාද පනත යටතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව වරප්‍රසාද යෝජනාවක් හෝ පාර්ලිමේන්තුවට අපහාස කිරීමේ යෝජනාවක් ගෙන ආ හැකි බවද චන්දිම වීරක්කොඩි මහතා පෙන්වා දුන්නේය.

අගවිනිසුරුවරයකු හෝ විනිසුරුවරයකු ‍ තනතුරෙන් ඉවත් කිරිම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (3) වගන්තියේ සඳහන් බව ද ඒ අනුව මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කර ඇති බවද හෙතෙම කීවේය

දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන් තීන්දුව සම්බන්ධව කතානායකවරයා නිවැරදි තීන්දුවක් ලබාදි තිබෙන බවද එය මේ කාරණාව ඉදිරියට ගෙනයාමේදිද බලපාන බවද වීරක්කොඩි මහතා කීය.

තේරීම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, එළඹෙන 08 වැනිදායින් පසුව ඕනෑම දිනක දෝෂාභියෝග විමර්ශන කරණු පිළිබඳ විවාදය පැවැත් වීමට හැකියාවක් පවතින බවද එම යෝජනා සරල බහුතරයකින් සම්මත වූ පසු එය ක්‍රියාත්මක කිරීමේ බලය ජනාධිපතිතුමා සතු බවද නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් කීවේය. (චමීර ඇල්ලදෙණිය)

Source: Dinamina (Sri Lanka)