ශිරානි බණ්ඩාරනායක 2011 මැයි මස 17 දින ශ්‍රී ලංකාවේ ප්‍රථම අගවිනුසුරුවරිය වූවාය

පළාත් අධ්‍යාපන අධයක්ෂවරයකු වූ නැසීගිය විල්සන් බණ්ඩාරනායක මහතාගේ සහ ඉංග්‍රීසි ගරුවරියක වූ නැසීගිය ෆ්ලෝරා බණ්ඩාරනායක මහත්මියගේ වැඩිමහල් දියණිය ලෙස 1958 අප්‍රේල් මාසයේදී කුරුණැගලදී උපත ලැබූ ශිරානි අන්සුමාලා බණ්ඩාරනායක 2011 මැයි මස 17 දින ශ්‍රී ලංකාවේ ප්‍රථම අගවිනුසුරුවරිය වූවාය. ඇය එම ධූරයට පත්වූ 43 වැන්නා වූයේ පාර්ලිමේන්තු සභාවේ ද අනුමැතිය අනුවය.

අළෙවිකරණය පිළිබඳ වෘත්තිකයකු මෙන්ම ජාත්‍යන්තර කළමනාකරණ උපදේශකවරයකු ද වන ප්‍රදීප් කාරියවසම් මහතා සමඟ විවාහ වී සිටින ඇය එක් දරු මවකි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන කාරියවසම් මහතා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති වරයාය. ඇගේ එකම පුතු ෂවීන් බණ්ඩාරනායක කාරියවසම් මහතා එංගලන්තයේ ස්ටැෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියකු වන අතර ශ්‍රී ලංකා ආසියානු පැසිපික් තොරතුරු තාක්ෂණික ආයතනයේද අධ්‍යාපනය ලබා ඇත.

ගිනිගත්හේන ප්‍රාථමික විදුහල, කෑගල්ල බාලිකා විද්‍යාලය, තෝලංගමුව ප්‍රාථමික විදුහල, තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය හා අනුරාධපුර මධ්‍ය මහා විදුහල යන පාසල් කිහිපකින්ම ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය ලැබූ ශිරානි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළු වූයේ 1976 වර්ෂයේදී උසස් පෙළ ඉහළ සමාර්ථයක් ලබමිනි.

1980 වර්ෂයේදී නීතිවේදී (ගෞරව) උපාධිය ලැබූ ශිරානි බණ්ඩාරනායක 1981 දී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ආරාධිත කථිකාචාර්යවරියක ලෙස ද සම්බන්ධ වූවාය. 1983 වසරේදී නීතිය පිළිබඳ දර්ශනපති උපාධිය ලබාගත් ඇය එම වසරේදීම ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක ලෙස ද දිවුරුම් දුන්නාය. ඉන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගිය ඇය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගත්තේ 1986 වර්ෂයේදීය.

1987 දී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අංශාධිපති තනතුරට පත්වූ ඇය 1992 වර්ෂයේදී එහි පීඨාධිපති තනතුරට පත්ව අවස්ථා කිහිපයක් කොළඹ විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ලෙස ද ක්‍රියා කළාය. අනතුරුව 1993 වර්ෂයේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ සහාය මහාචාර්ය වරියක ලෙස ද ඇය පත්වූවාය.

1996 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත්වූ ඇය ඒ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති සහ නීතිය පිළිබඳ සහාය මහාචාර්ය වරියක ලෙස ක්‍රියාකරමින් සිටියාය. ඇය මෙරට ප්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියයි. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකාවක වන ශිරානි බණ්ඩාරනායක එකොළොස් වතාවක් මෙරට වැඩබලන අගවිනිසුරු වරිය ලෙස ද කටයුතු කැර තිබීම විශේෂත්වයකි.

Source: Lankadeepa (Sri Lanka)