රිසානාගේ මරණය ඝාතනයක්! පරීක්ෂණ පවත්වන්න

සෞදි අරාබියේ දී මරණ දඬුවමට ලක්වූ රිසානා නෆීක්ගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආසියානු මානව හිමිකම් කොමිසම විසින් මෙරට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම පරීක්ෂණයන්හිදී මූලික වශයෙන් කරුණු 3 ක් පිළිබඳ විමසා බැලිය යුතු බවට ඔවුන් අවධාරණය කර ඇත.

රිසානාට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තරම් සෞදි අරාබි අධිකරණය ලද සාක්ෂි, තමන් විසින් මිනීමැරුමක් සිදුකළ බවට රිසානා විසින් පාපොච්ඡාරණය කොට අත්සන් කළ බව කියන ලියකියවිලි සහ ඇගේ වයස පිළිබඳ තැකීමක් නොකිරීම යන කරුණු වෙත මෙහිදී අවධානය යොමු කළ යුතුව ඇති බව ඔවුන් පෙන්වාදෙයි.

දමිළ භාෂාව පමණක් හැසිරවීමේ හැකියාව තිබූ රිසානාගේ මෙම නඩු විභාගය අරාබි භාෂාවෙන් සිදුකිරීම මෙන්ම රිසානා විසින් අත්සන් කළ බව කියන පාපොච්ඡාරණය සහිත ලියකියවිලි ද අරාබි භාෂාවෙන් සකස් කර ඇති ඒවා බව ආසියානු මානව හිමිකම් කොමිසම පවසයි.

එමෙන්ම මෙම නඩු විභාගයේ දී රිසානා වෙත ලබා දී තිබූ භාෂා පරිවර්තකයා කර්ණාටක භාෂාව හැසිරවිය හැකි අයෙකු බැවින් එහිදී රිසානාට කිසිවක් තේරුම් ගැනීමට නොහැකි වන්නට ඇති බව ඔවුන් පෙන්වාදෙයි.

මෙම සියලු කරුණු හමුවේ සෞදි රජය මුණිවත රකින අතර ඒ කිසිදු කරුණක් අසත්‍ය බවට ප්‍රකාශ කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදුනොකරන බවත් එබැවින් මෙය හුදු මිනිස් ඝාතනයක් බවත් ආසියානු මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Source: Adaderana (Sri Lanka)