“කරුණාකර නැවත එන්න” ජයන්තට ක්‍රිකට් ප්‍රවීණයන්ගෙන් ඇරියුම්

හිටපු ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති හා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස මහතාට නැවත ක්‍රිකට් පරිපාලනයට පැමිණෙන ලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසකගෙන් හා ක්‍රීඩා සමාජ කිහිපයකින්ම ආරාධනා ලැබී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුද ජයන්ත ධර්මදාස මහතා නැවැත ක්‍රිකට් පරිපාලනයට පැමිණෙන්නේ නමි එය ක්‍රීඩාවේ යහපතට හේතුවන්නක් බව පවසා ඇතැයි වාර්තාවේ.

මේ හේතුවෙන් ලබන මාර්තු 31ට පෙර පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති තනතුරට ජයන්ත ධර්මදාස මහතා නාම යෝජනා භාර දීමේ සුදානමක් ඇතැයි වාර්තා‍ වේ.ජයන්ත ධර්මදාස මහතා සභාපති තනතුර‍ට ඉදිරිපත් වුවහොත් ඔහු සමඟ තරග කිරීමට කිසිවෙකු හෝ ඉදිරිපත් නොවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙකු ‘දිනමිණ’ට පැවැසීය.

ඒ මහතා පළපුරුදු, අවංක පරිපාලකයෙකු ලෙස ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශ්වාසය දිනා සිටීම එයට ප්‍රධාන හේතුව බව එම ප්‍රකාශකයා පැවැසීය. නවලෝක රෝහලේ සභාපති වන ජයන්ත ධර්මදාස මහතා වසර 35ක පමණ කාලයක් විධායක කළමනාකාරිත්වයේ ප්‍රධාන තනතුරු දරමින් සිටී.

ඒ මහතා වසර 2005 සිට 2007 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස හා 2006 සිට 2007 දක්වා ආසියානු ක්‍රිකට් සභාපති ලෙසද කටයුතු කළේය. (ප්‍රින්ස් ගුණසේකර)

Source: Dinmina (Sri Lanka)