අතුරු කමිටු තහනම් සටනට අර්ජුන සහ උපාලි?

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නිලවරණය ලබන මාර්තු මස 31 වැනිදාට පෙර පැවැත්වීමට කටයුතු සූදානම් කරන බවත් මෙවර පත්වන නිලමඩුල්ලට වසර දෙකක නිල කාලයක්‌ හිමි වන බවත් ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ‘දිවයින’ ට පැවසීය.

මෙවර නිලවරණය සඳහා හිටපු ක්‍රිකට්‌ නායක අර්ජුන රණතුංග සහ වත්මන් ක්‍රිකට්‌ සභාපති උපාලි ධර්මදාස ඉදිරිපත් වීමට සූදානමක්‌ පවතින බවද වාර්තා වේ.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට අතුරු කමිටු පත්කිරීම තහනම් කර ඇති බැවින් ක්‍රිකට්‌ නිලවරණය සඳහා අර්ජුන රණතුංග සහ උපාලි ධර්මදාස මහතා අතර සටනක්‌ පැවතීමට බොහෝ දුරට අවස්‌ථාවක්‌ ඇත.

මෙවර ක්‍රිකට්‌ නිලවරණය සඳහා අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් වීමට සූදානමක්‌ පවතින බැවින් ඒ පිළිබඳව ඔහුගෙන් ‘දිවයින’ කළ විමසුමකදී, “මගෙන් ගොඩක්‌ කට්‌ටිය ඉල්ලීමක්‌ කළා ක්‍රිකට්‌ ආයතනය භාරගෙන මේක හරි විදිහට කරන්න කියලා. විශේෂයෙන් අපේ රටේ ක්‍රිකට්‌ වෙනුනේ දහඩිය වගුරවපු හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩකයෝත් මගෙන් ඉල්ලීමක්‌ කළා. ඒ වගේම මේ රටේ තියෙන ක්‍රීඩා සමාජ කිහිපයක්‌ම මා සමග සාකච්ඡා කළා සභාපතිකම භාර ගන්න කියලා. යනුවෙන් රණතුංග මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අර්ජුන රණතුංග මහතා, “දැන් මේ රටේ ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රිකට්‌ ක්‍රීඩාව වැටිල තියෙන තැනින් ගොඩ ගන්න එක මට කරන්න පුළුවන්. ප්‍රශ්නය තියෙන්නෙ මේකෙ තියෙන වට පිටාව හොඳ නැති එක. දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව මට මේක කරගෙන යන්න දුන්නොත් මම ඒ ගැන හිතල බලනවා. අනිත් එක දැන් අතුරු කමිටු තියන්න අයි.සී.සී. එක අවසර දීල නැති හින්ද නිලවරණයකට යන්න සිද්ධ වෙනවා. කොහොමත් මේ සම්බන්ධව මම ඉදිරියේදී තීරණයක්‌ ගන්නවා. මේ සතියේදී ඒ පිළිබඳව මා විශේෂ සාකච්ඡාවකට සහභාගි වන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

අර්ජුන රණතුංග මහතා 2010 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ අතුරු කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එහිදී දේශපාලන මැදිහත්වීම මත වර්ෂයක්‌ ගතවීමට පෙර ඔහුව අදාළ තනතුරෙන් ඉවත් කරන ලදී.

මේ අතර වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති උපාලි ධර්මදාස මහතාද මෙවර නිලවරණයට ඉදිරිපත් වනවාද යන්න ‘දිවයින’ කළ විමසුමකදී ඔහු පවසා සිටියේ, “මගෙනුත් ගොඩක්‌ කට්‌ටිය ඉල්ලීමක්‌ කරල තියෙනවා ආයිත් ඇවිල්ල කරපු වැඩ ටික දිගටම කරගෙන යන්න කියලා. කොහොම වුණත් මගෙත් අදහසක්‌ තියෙනවා ආයිත් ඉදිරිපත් වන්න ඒත් තවම තීරණයක්‌ නැහැ.” යනුවෙනි.

ක්‍රිකට්‌ ක්‍රීඩාවට තමා ආදරය කරන බැවින් ක්‍රිකට්‌ වෙනුවෙන් නැවත ඉදිරිපත්වීම පිළිබඳ තීරණය ඉදිරියේදී ගන්නා බවත් මේ වන විට 2012 වසරේ තමාට අයත් සියලු ගනුදෙනුද අවසන් කර ඇති බවත්, දැන් වැටී තිබූ තත්ත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ගොඩ එමින් පවතින බවත් ධර්මදාස වැඩිදුරටත් පැවසීය.

Source: Divaina (Sri Lanka)