කොළඹ නීති පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන අචලා ප්‍රියදර්ශනී නමැති විසිහතර හැවිරිදි නීති ශිෂ්‍යාවගේ අත කපා දැමීමට කොළඹ ජාතික රෝහලට සිද්ධ වී ඇත්තේ සම්පූර්ණයෙන්ම මාතර මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල නිසා බව මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.
මෙම නීති ශිෂ්‍යාව මාතර ඌරුබොක්ක සිය නිවසේ තරප්පු පෙළ මතින් ඇද වැටී අතේ අස්ථි බිඳී යැම නිසා පසුගිය 17 දා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මාතර රෝහලේ අදාළ කාර්ය මණ්ඩලය විසින් ඇගේ අතට ප්ලාස්ටර් ඔෆ් පැරිස් (POP) නමැති ප්ලාස්ටරය දමා තිබෙන්නේ මාංශ පේශීන් තදබල ලෙස තෙරපෙන පරිදි බවත් එනිසා ඇය දින තුනක් තිස්සේ දැඩි වේදනාවකින් පසුව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඇය දැඩි වේදනාවෙන් පසුවන බව ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දැන සිටි බවත් වේදනාව සමනය කිරීම සඳහා ඇයට පෙතිඩීන් නමැති එන්නත ලබා දී තිබෙන බවත් මෙම විමර්ශනවලදී හෙළිදරව් වී තිබේ. මෙම එන්නත ඉතා දරුණු මට්ටමේ වේදනාවන්ට ලබාදෙන ඖෂධයක් වන අතර ඒ බව නීති සිසුවියගේ ඇඳ ඉහපතේ දක්වා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්ලාස්ටර් ඔෆ් පැරිස් ප්ලාස්ටරය දැමූ පසු තමන්ට වේදනාවක් දැනෙන බව රෝගියා පවසයි නම් හා එම ප්ලාස්ටරය යෙදූ ශරීරයේ කොටස ඉදිමීම හෝ රත්පැහැ වීමක් පෙන්වන්නේ නම් වහා එහි ප්ලාස්ටරය කපා ඉවත් කිරීම සාමාන්‍යයෙන් සිදුකළ යුත්තක් මුත් මෙම නීති ශිෂ්‍යාව වේදනාවෙන් පසුවද්දී වෛද්‍ය කාර්ය මණ්ඩලය අදාළ ප්ලාස්ටරය කපා දමා නැතැයි ද එම විමර්ශනවලදී හෙළි වී තිබේ.
එම නිසා ඇගේ අතේ ස්නායු සම්පූර්ණයෙන්ම මියගොස් ඇතැයි ද නාඩි පවා නැති වී අත නිල්පැහැ ගැන්වී තිබූ බව ද මූලික විමර්ශනයේදී තහවුරු වී ඇත.
මේ බැව් දැනගත් මාතර රෝහලේ අදාළ වෛද්‍ය කාර්ය මණ්ඩලය වහා ඇය කරාපිsටිය රෝහල වෙත යවා ඇතත් ඇගේ තත්ත්වය තේරුම් ගත් කරාපිටිය රෝහලේ බලධාරීන් රෝගියා යළි මාතරට හරවා යවා තිබෙන බව ද එම විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
ඉන්පසු මාතර රෝහලෙන් රෝගී ශිෂ්‍යාව කොළඹ ජාතික රෝහලට එවා ඇත. ඒ වන විටත් අත නරක් වී තිබූ නිසා ජීවිතය බේරා ගැනීම සඳහා ජාතික රෝහලට ඇගේ අත කපා දැමීමට සිදුව ඇත.
මෙම සිද්ධියේ සම්පූර්ණ වරද මාතර මහ රෝහලේ ඇයට ප්‍රතිකාර කළ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල බව මෙම මූලික විමර්ශනවලදී සනාථ වී ඇතැයි ද එම නිසා මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් කිරීම සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා සහ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පත්කළ බව ද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය. අදාළ කමිටුව විසින් සිය විමර්ශන කටයුතු අද (28 දා) ආරම්භ කරනු ලැබේ.
මේ අතර සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ඊයේ පෙරවරුවේ ජාතික රෝහලට ගොස් රෝගී සිසුවියගේ සුවදුක් විමසා බලා ඇත. (අජිත් අලහකෝන්)
——————————
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසර ශිෂ්‍යාවක වන අචලා ප්‍රියදර්ශනී අනතුරකට ලක්වී වම් අත බිඳීයැම නිසා මාතර මහ රෝහලින් ප්‍රතිකාර කර කොළඹ ජාතික රෝහලට මාරුකර එවීමෙන් පසු ඇගේ වම් අත කපා දැමීමේ සිද්ධිය පිළිබදව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇත.
මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට කමිටුවක් පත්කර ඇති අතර විශේෂ පොලිස් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇත.
මාතර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දොස්තර දිලිණි සමරසිංහ මහත්මිය පැවසුවේ මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වාගෙන යන අතර ඉන් එහා කිසිවක් තමාට කිව නොහැකි බවයි.
සිද්ධියට ලක්වූ ශිෂ්‍යාව වම් අත හුරු තැනැන්තියක නිසා ඇගේ අනාගතයට එය විශාල ගැටලුවක් වී තිබේ. (නෝමන් පලිහවඩන)
Source: Daily Mirror (Sri Lanka)
Image courtesy of Daily Mirror (Sri Lanka)