විවාහක බිරිඳගෙන් නීත්‍යානුකූලව වෙන්වන්නේ නැතිව තවත් විවාහයක් කර ගැනීමේ (බහු විවාහ) චෝදනා ලබාසිටි අභය රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහට කොළඹ මහාධිකරණ විනිසුරු විමල් නම්බුවර මහතා ඊයේ (31 වැනිදා) බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවමක් සහ රු. 25,000 ක දඩයක් නියම කළේය.
සක්විති රණසිංහගේ පළමු විවාහයේ බිරිඳ වන සුභාශිනී සිල්වා නමැත්තිය කළ පැමිණිල්ලක් මත නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව මේ නඩුව පවරා තිබිණි.
නඩුව කැඳවූ ඉකුත් දිනයේදී විත්තිකරුට එල්ල කර තිබූ චෝදනාවට වරද පිළිගන්නා බව ඔහු විසින් උසාවියට දන්වා සිටි අතර ඔහුට ඉහත කී දඬුවම නියම වූයේ ඊයේ එම නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය.
මුදල් වංචා කිරීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ දෙවැනි විවාහයේ බිරිඳ වන අනුරුද්ධිකා කුමාරි ද වසර දෙකක පමණ කාලයක සිට රක්ෂිත සිර භාරයට පත්ව සිටිති.
උසාවියේදී අනාවරණය වූ පරිදි සක්විති රණසිංහගේ පළමු විවාහයේ බිරිඳට දරුවන් නැත. දෙවැනි විවාහයේ බිරිඳට දරුවෝ දෙදෙනෙක් සිටිති. මහා පරිමාණයෙන් පන්ති පවත්වා ගෙන යමින් සිසු සිසුවියන්ට ඉංගී්රසි ඉගැන්වීම කළ සක්විති රණසිංහ දෙවනුව විවාහ කරගත්තේ ඔහුගේ පන්තියකට පැමිණි සිසුවියකි.
නීතිපති වෙනුවෙන් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙය වූවේ රජයේ නීතිඥ ජයනී වෑගොඩපොල මහත්මියයි. (සරත් ධර්මසේන)
Source: Divaina (Sri Lanka)