ශ්‍රී ලංකාවට නැගෙනහිsරින් වූ අම්පාර අක්කරපත්තු මුහුදු ප්‍රදේශයේ අනතුරට පත් යාත්‍රාවක සිටි බංග්ලාදේශ සහ මියන්මාර් ජාතිකයන් 138 දෙනකු නාවික හමුදාව විසින් පෙරේදා (02 වැනිදා) බේරාගෙන ඇත.
එහි සිටි එක් අයකු මියගොස් සිටි බව නාවික හමුදාව කියයි.
ඔලුවිල් සිට නැගෙනහිර දෙසට වන්නට මුහුදු සැතපුම් පනහක පමණ දුරින් අනතුරට පත් මෙම සියලු දෙනා ඔලුවිල් ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූ අතර මෙහිදී අධික විජලනයට පත් පුද්ගලයන් පහළොස් දෙනකු අක්කරපත්තු මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
බේරාගත් පිරිස අතර බංග්ලාදේශ ජාතිකයන් 127 දෙනකුද, මියන්මාර් ජාතිකයන් 11 දෙනකු ද (පිරිමින් 132, කාන්තාවන් 3, ළමුන් 3) සිට ඇති අතර ඔවුන් දින දහයක පමණ කාලයක් මුහුදේ යාත්‍රා කරමින් සිට ඇත.
“සංජු 4” නමැති ධීවර යාත්‍රාව මගින් මුලින්ම මෙම යාත්‍රාව දැක ඇති අතර පසුව එම සංජු ධීවර යාත්‍රාව විසින් මේ ගැන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ. එම දෙපාර්තමේන්තුව මගින් කළ දැනුම් දීමකට අනුව නාවික හමුදාව එම අවස්ථාවේ නැගෙනහිර මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි අධිවේගී නාවික යාත්‍රාවක් සිද්ධිය වූ ස්ථානය වෙත යවා තිබේ. ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා උදාර නෞකාව හා අධිවේගී යාත්‍රාවක් වන පී 439 යාත්‍රාව පිටත් කර එම පිරිස බේරාගෙන තිබේ.
බේරාගත් සියලු දෙනාහට නාවික හමුදාව විසින් වෛද්‍යාධාර සහ ආහාර පානාදියෙන් සංග්‍රහ කර ඇත.
මෙම පිරිස පසුගියදා බංග්ලාදේශයේ වරායකින් පිටත්ව ඇතැයි හෙළි වූ බව නාවික හමුදාව පවසයි.
නිරාහාරව සිටීම නිසා එක් අයකු මියගොස් ඇති බවත් ඉතිරි අය දින ගණනක් ආහාරයක් නොමැතිව ලුණු වතුර පමණක් පානය කරමින් සිට ඇති බවත් පැවසේ. මේ පිරිස රැකගැනීම තවත් පමා වූයේ නම් සියලු දෙනාම මියයැමට ඉඩ තිබුණු බව ද ප්‍රකාශකයෙක් පැවසීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සුසන්ත අමරබන්දු – අම්පාර, ජයසිංහ – දඩයම්තලාව, කල්මුණේ, ගයාන් චින්තක – ලාහුගල සහ කේ. එම්. පී. බණ්ඩාර – මඩුල්ල.
Source: Divaina (Sri Lanka)