රාජ්‍ය නිදහස්‌ උළෙල අද ත්‍රිකුණාමලේදී

අදට (04 වැනිදා) යෙදෙන 65 වැනි ජාතික දින සැමරුම් උළෙලේ ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බළකාය, යොවුන් සේනාංකය සහ ජාතික ශිෂ්‍ය භට බළකාය නියෝජනය කරමින් 3025 ක්‌ සහභාගි වෙති.

“අසිරිමත් මවුබිමක්‌ ඉසුරුමත් හෙට දිනක්‌” තේමාව යටතේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 65 වැනි සැමරුම් උළෙල ත්‍රිකුණාමලය ෙµ්‍රඩ්රික්‌ කොටුව මාවතේ මුහුදු තීරය පසුබිම්කොට ගෙන පැවැත්වේ.

ආචාර පෙළපාලිය සඳහා යුද හමුදාව නියෝජනය කරමින් 1400 ක්‌, නාවික හමුදාවෙන් 250 ක්‌, ගුවන් හමුදාවෙන් 250 ක්‌, පොලිසියෙන් 250 ක්‌, සිවිල් ආරක්‍ෂක බළකායෙන් 250 ක්‌, යොවුන් සේනාංකයෙන් 300 ක්‌ සහ ජාතික ශිෂ්‍ය භට බළකායෙන් 325 ක්‌ සහභාගි වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් පී. බී. අබේකෝන් මහතා ඊයේ (03 වැනිදා) පැවැසීය.

නිදහස්‌ දින උත්සවයේ ජාතික ගීය ගැයීම සඳහා ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ සිංහල, ද්‍රවිඩ, මුස්‌ලිම් පාසල් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 ක්‌ සහභාගි වන බව ද හෙතෙම කීය.

උත්සවය නියෝජනය කරමින් පැවැත්වෙන සංස්‌කෘතික අංග 16 න් 06 ක්‌ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ පාසල් දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවද පැවසූ ලේකම්වරයා මහජනතාව වෙනුවෙන් මැක්‌නේෂර් ක්‍රීඩාංගණය වෙන්කර ඇතැයි ද කීය.

ජාතික නිදහස්‌ දින සැමරුමේ ආරාධිතයන් අසුන් ගැනීම පෙරවරු 7.30 සිට සිදු කෙරෙන අතර ජනාධිපතිවරයා ජාතිය ඇමතීම පෙරවරු 9.15 ට සිදු කෙරේ.

නිල ජාතික නිදහස්‌ දින උළෙල ආරම්භ කිරීමට ප්‍රථම අද (4 වැනිදා) උදෑසන 6.30 ට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි ආගමික මධ්‍යස්‌ථානවලදී ආගමික වතාවත් පැවැත්වේ.

අද උදෑසන 6.30 ට බෞද්ධාගමික වතාවත් ත්‍රිකුණාමලය විල්ගම්වෙහෙර රජමහා විහාරස්‌ථානයේදීද හින්දු ආගමික වතාවත් තිරුකෝනේශ්වරම් කෝවිලේදී ද ඉස්‌ලාම් ආගමික වතාවත් මොහිඩීන් අන්වර් ජුම්මා මුස්‌ලිම් දේවස්‌ථානයේදී ද කතෝලික ආගමික වතාවත් පෙරියාකඩෙයි ශාන්ත මරියා ආසන දෙව්මැඳුරේදීද, ක්‍රිස්‌තියානි ආගමික වතාවත් ඩොක්‌යාර්ඩ් මෙතෝදිස්‌ත දෙව් මැඳුරේදී ද පැවැත්වීමට නියමිතය.

අනතුරුව පෙ.ව. 8 ට ෙෆඩ්රික්‌ කොටුව පරිශ්‍රයට පැමිණෙන ජනාධිපතිවරයා විසින් ජයසක්‌ හඬ සහ මංගල තේරී වාදනය මධ්‍යයේ ජාතික ධජය එසවීමෙන් ජාතික නිදහස්‌ දින උළෙල පැවැත්වේ.

නිදහස්‌ දින සැමරුම වෙනුවෙන්ම කන්තලේ – ත්‍රිකුණාමලය මාර්ගය, මුහුදු මාවත, ලන්දේසි කොටුව මාවත, ප්‍රධාන වීදිය, උසාවිය පාර ඇතුළු ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග සියල්ලේම ප්‍රතිසංස්‌කරණ කටයුතු නිමා කරන ලදී.

ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ පළමු වරට ජාතික නිදහස්‌ දින සමරු උළෙලක්‌ පැවැත්වූයේ එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වූ දිවංගත ඩඩ්ලි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

නිදහස්‌ දිනය නිමිත්තෙන් පැවැත්වෙන ආගමික වතාවත් සඳහා අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න සහ එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන, ඩග්ලස්‌ දේවානන්දා, ආරුමුගම් තොණ්‌ඩමන්, ඒ. එච්. එම්. ෆවුසි, මිල්රෝයි ප්‍රනාන්දු, රජීව් විඡේසිංහ, නජීබ් ඒ. මජීඩ් යන මැති ඇමැතිවරු සහභාගිවීමට නියමිතය.

Source: Divana  (Sri Lanka)