ශ්‍රී ලංකා පිතිකාරිණියන් දැක්වූ සුපිරි පිති ප්‍රහාරය හමුවේ ඉන්දියාවට එරෙහිව සිය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම මුලු ලකුණු සංඛ්‍යාව (282) වාර්තා කර ගැනීමට ඊයේ (05 දා) සමත් වූවාය. ඒ අනුව 2013 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි හය වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ වැඩි අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තාවන් සමත් වූවාය.
කාසියේ වාසිය සමග පළමුව පිති ප්‍රහාරය දියත් කළ ශ්‍රී ලංකා පිතිකාරිණියන් අර්ධ ශතක හතරකින් ඉන්දියානු පන්දු යවන්නන්ට සංග්‍රහ කිරීමට සමත් වූවාය.
ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලකුණු 4 කදී දැවී ගියද දෙවැනි කඩුල්ල සඳහා යශෝධා මෙන්ඩිස් සහ දීපිකා රසාංගිකා ලකුණු 117 ක සබඳතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකාව ප්‍රබල තත්ත්වයකට රැගෙන යාමට සමත් වූවාය. එහිදී යශෝධා මෙන්ඩිස් සිය දෙවැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 80 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 55 ක් ලබා ගත්තාය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය වූ දීපිකා රසාංගිකා පන්දු 109 කදී හතරේ පහර 11 ක් සමග ලකුණු 84 ක් ලබා ගත් අතර ඇයගේ පළමු එක්දින අර්ධ ශතකයද එය වූවාය.
නායිකා ශෂිකලා සිරිවර්ධන පන්දු 67 කදී හතරේ පහර හයක් සමග ලකුණු 59 ක් ලැබූ අතර ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ ඒෂානි කෞෂල්‍යා පන්දු 31 කදී හතරේ පහර හයක් සහ හයේ පහර තුනක් සමග නොදැවී ලකුණු 56 ක් ලැබුවාය. එය ඇය විසින් වාර්තා කරන ලද තෙවැනි අර්ධ ශතකය ලෙස සටහන් වූවාය. ‘දිවයින’ මුද්‍රණයට යන අවස්ථාව වන විට ඉන්දියානු ඉනිම ආරම්භ වී නොතිබූ අතර මේ වන විට ‘ඒ’ කාණ්ඩයෙන් සුපිරි හය වටය සඳහා සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත්ව සිටී. ‘බී’ කාණ්ඩයෙන් ඔස්ටේ්රලියාව සහ නවසීලන්තය සුපිරි හය වටයට සුදුසුකම් ලබා තිබේ.
Source: Divaina (Sri Lanka)