ඇත්තටම අචලාගේ අතට මොකද වුණේ?

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යාවක්‌ වන අචලා ප්‍රියදර්ශනී වෙත මේ වන විටත් බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. එසේ වී ඇත්තේ ‘රියෑලිටි ස්‌ටාර්’ කෙනෙක්‌ වීම වත් දේශපාලන කරණමක්‌ ගැසීමටවත් සූදානම් වන කෙනකු නිසා නොවේ. සිය වම් අතේ ඇති වූ අස්‌ථි බිඳීමකට ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් වූ පසු සිදුකළ වෛද්‍ය ප්‍රතිකාරවල වරදකින් ඇයට ඇගේ වම් අත අහිමි වීම නිසාය.

සාමාන්‍ය ව්‍යවහාරයේදී අප පවසන්නේ වෛද්‍යවරයකුගේ අතින් සිදුවන අත්වැරදීමකින් රෝගියා අඩි හයක්‌ පොළව යටට යන බවත් විනිසුරුවරයකුගේ අත් වැරදීමකින් සැකකරුවකු අඩි හයක්‌ පොළවෙන් ඉහළට යන බවත්ය. එනම් වෛද්‍යවරයා අතින් සිදුවන වරද නිසා රෝගියා මිය යැමත්, විනිසුරුවරයාගේ වරද නිසා සැකකරු එල්ලුම් ගසට නියම වීමත්ය.

කෙසේ වෙතත් අචලාගේ ජීවිතය බේරී ඇත්තේ අනූනවයෙනි. අතක්‌ අහිමිවුවත් ඇය ජීවතුන් අතර සිටියි. ඒ සඳහා ඇයට පිහිට වී ඇත්තේද වෛද්‍යවරුන්මය. එක්‌ වෛද්‍යවරයෙක්‌ අතින් ඇයගේ ජීවිතය අනතුරට ලක්‌වන විට තවත් වෛද්‍යවරයකු විසින් ඇයගේ ජීවිතය අනතුරින් මුදා ගනු ලැබ ඇත. මෙය දෙවිවරුන්වන් වෛද්‍යවරුන් පිළිබඳ කතාවක්‌ වන්නේද එනිසාමය.

වෛද්‍යවරයා දෙවියකු වන්නේත් දෙවියකු නොවන්නේ හෝ යක්‍ෂයකු වන්නේ ඔහු හෝ ඇය සිය වෘත්තියේ යෙදෙන ආකාරය අනුවය. එක්‌ වෛද්‍යවරයකු අතින් සිදුවන වරදට සියලුම වෛද්‍යවරුනට විඳින්නට සිදුවන නින්දා අපහාස බොහෝය. එක මකුණෙක්‌ කෑ විට මකුණන් ඔක්‌කොටම දඬුවම් දෙන න්‍යාය මිනිසුන් අතර භාවිත විය යුතුද නැත. මන්දයත් මොන අතින් බැලුවත් වෛද්‍යවරයා දෙවියෙක්‌ වන බැවිනි.

තමාගේ ඥතියකුත් නොවන හිතවතෙකුත් නොවන පුද්ගලයකුගේ ගුද මාර්ගයේ ඇති වූ අර්ශස්‌ ගෙඩි සිය දැතින් ඉවතට ගෙන සැත්කම් කරන වෛද්‍යවරයා එය සිදුකරන්නේ රෝගියකු නිරෝගී කිරීම සඳහා වූ උතුම් ප්‍රාර්ථනය සිතෙහි දරාගෙනය. බරපතළ තුවාල සහිතව මරණය පෙනි පෙනී රෝහල් ගත කරන රෝගියාට වෙලාව අවේලාව නොබලා එක දිගට පැය හතරක්‌ පහක්‌ ශල්‍යාගාරයේ සිටගෙන ගේ දොර අඹුදරුවන් ගැන සිහිපත් කර නොගෙන සැත්කම් සිදුකර රෝගියාට යළි ජීවිතය ලබා දෙන්නේද පහන් සිතින්මය. එනිසා එවන් උතුම් දෙවිවරුන් වන් වෛද්‍යවරුන්ට නිගා දෙන්නට අපි කිසිසේත්ම උත්සාහ නොකරන්නෙමු. එහෙත් නොසැලකිලිමත්කම නිසා රෝගියකුගේ ජීවිතය හානියට ලක්‌වීම හෝ සදාකාලික ආබාධිතයකු බවට පත්වීම අප කෙසේනම් සාධාරණී කරණය කරන්නද?

අචලාට සිදුවූයේ හදිසි අනතුරකි. ඒ බිම ඇද වැටීම නිසා අස්‌ථි බිඳීමකි. අස්‌ථි බිඳීමකට ඇති එකම ප්‍රතිකාරය සැත්කමකින් එම බිඳුණු අස්‌ථිය සකස්‌ කර ස්‌වාභාවිකවම එය නැවත යථා තත්ත්වයට පත්වීමට ඉඩහැරීම පමණකි. එය බටහිර වෛද්‍ය ක්‍රමයේත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදීත් සිදුකරන සම්මත හා නිවැරදිම ප්‍රතිකාරයද වේ.

බිඳුණු අස්‌ථිය නොසෙල්වෙන ලෙස තැබිය යුතුය. ඒ සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයේදී ප්ලාස්‌ටර් ඔµa පැරිස්‌ සහිත වෙලුමක්‌ යොදනු ලැබේ. දේශීය වෛද්‍ය ක්‍රමයේදී පතුරු තබා වෙලුම් පටිවලින් බඳිනු ලැබේ.

රෝගියාගේ වයස සහ අස්‌ථි බිඳීම සිදුව ඇති ස්‌ථානය අනුව එය නැවත යථා තත්ත්වයට පත්වීමට ගතවන කාලය තීරණය වේ.

මාතර රෝහලේදී අචලාට ද සිදුකරනු ලැබ ඇත්තේ එම ප්‍රතිකාරයමය. නමුත් එය නිසි ලෙස සිදුකර නොමැති බවට මේ වන විට අයගේ ප්‍රතිකාර සිදුකිරීම සම්බන්ධව පවත්වනු ලබන පරීක්‍ෂණවලට අනුව හෙළිවී ඇතැයි අපට වාර්තා වේ.

බිඳුණු අස්‌ථිය යළි සකස්‌ කර වෙලුම් යොදන විට අතත් වෙලුමත් අතර පරතරය තිබිය යුතුය. එසේ නොවුණහොත් වෙළුම්වල තදවීම නිසා ස්‌නායු දැඩි තෙරපුමට ලක්‌වී ඒවා මිය යා හැකිය. එවැනි තත්ත්වයක්‌ ඇතිවන විට රෝගියාට දැනෙන වේදනාව මෙතෙකැයි කියා කිව නොහැකිය. අචලාටත් සිදුව ඇත්තේ මෙවැනි දෙයක්‌ විය හැකිය. එසේ අනුමාන කිරීමට හේතුවී ඇත්තේ ඇයට දින තුනක්‌ තිස්‌සේ දැඩි වේදනා නාශක ඖෂධයක්‌ වන පෙතිඩීන් එන්නත් කිරීමය. පෙතිඩීන් යනු ඉතා උග්‍ර වේදනා නාශකයකි. දරාගත නොහැකි වේදනාවක්‌ සඳහා මෙම වේදනා නාශකය රෝගියකුට ලබාදීම සාමාන්‍ය දෙයක්‌ද විය හැකිය. එහෙත් ගැටලුව වන්නේ දිගින් දිගටම ඒවා ලබාදීමය. දින තුනක්‌ තිස්‌සේත් අචලාට පීඩාවක්‌ දුන් එම වේදනාවට හේතු නොසොයා එලෙස වේදනා නාශක පමණක්‌ දී සෑහිමකට පත්වීමට විශේෂඥ වෛද්‍යවරයකුට හැකිද? පළපුරුදු හෙදියකට හැකිද? යන්න ඉතා සාධාරණ ප්‍රශ්නයකි.

අචලාගේ අස්‌ථි බිඳුණු අතේ ස්‌නායු මියගොස්‌ ඇති බව දැනගත් මාතර රෝහලේ වෛද්‍යවරුන් විසින්ම ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. එම රෝහලට අචලා භාර ගැනීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා කෝකටත් තෛලය බඳු ජාතික රෝහලට අචලා රැගෙන ඒම සිදුව ඇත. ජාතික රෝහල කිසි මොහොතක කිසිදු රෝගියකු ඇතුළත් කර ගැනීම ප්‍රතික්‍ෂේප නොකරන නිසා අචලාට ජාතික රෝහලට ඇතුළත්වීමට වරම් ලැබුණි.

“කෙල්ලගෙ අත කාලා”…. අචලා පරීක්‍ෂා කළ වෛද්‍යවරුන්ගේ මුවින් පිටව තිබේ. ඇයගේ ස්‌නායු මියයැමත් බිඳුණු අස්‌ථියට පහළ කොටසේ මාංශපේෂි මිය යැමත් නිසා එහි හටගන්නා විෂබීජ ඉතා පහසුවෙන් ඇයගේ හදවතට සහ මොළයට ගමන් කළ හැකිය. මන්දයත්á බිඳුණ අස්‌ථියෙන් ඉහළ කොටසේ ස්‌නායු සහ මාංශ පේෂි මියගියත් ඉන් ඉහළ කොටසේ කිසිවක්‌ මියගොස්‌ නැත. එනිසා ඉතා පහසුවෙන් විෂබීජ හදවතට සහ මොළයට ගමන් කළ හැකි බැවින් එසේ සිදුවුවහොත් ඇයගේ ජීවිතය හානියට ලක්‌වන නිසා ඇති එකම විකල්පය වන අචලාගේ වම් අත පහළ කොටස කපා දැමීමට වෛද්‍යවරුනට සිදුවිය.

දැතම සමඟ රෝහල්ගත වූ අචලාට එක්‌ අතක්‌ අහිමි කරගෙන රෝහලින් පිටවීමට සිදුවීම මොනතරම් කටුක අත්දැකීමක්‌ද? වේදනාවක්‌ද? වෛද්‍යවරුද සෞඛ්‍ය සේවක සේවිකාවෝද මිනිස්‌සුම වෙති. අත්වැරදීම් සිදුවීම ද සාමාන්‍ය දෙයකි. එනිසා මෙයත් අත්වැරදීමක්‌ ලෙස සිතා බැහැර කළ හැකිය යන මතයේ වඩාත් හිතට සනීපද විය හැකිය. එහෙත් ඒ සමඟම හදවතට අප තුළ නැගෙන ප්‍රශ්න පත්‍රයක්‌ම ඇත.

අචලා දින තුනක්‌ තිස්‌සේ වේදනාවෙන් කෑගසනවිට, ඇයගේ අතෙහි වෙනසක්‌ සිදුවන විට ප්ලාස්‌ටර් ඔµa පැරිස්‌ වෙලුම ඉවත් කර පරීක්‍ෂා කර බලන්නට තරම් රෝහල් කාර්ය මණ්‌ඩලය කාරුණික වූවා නම්….?

සාමාන්‍යයෙන් අප බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ රෝගියකු රෝහල්ගත කළ වහාම සේලයින් දීම, ඖෂධදීම කළ යුතු යෑයි කියාය. එය සම්පූර්ණයෙන්ම වැරදිය. රෝගියකුට ප්‍රතිකාර ලබාදෙන්නේ රෝග තත්ත්වය පරීක්‍ෂා කර බැලීමෙන් පසුය. නමුත් අචලාට තිබුණේ නිධන්ගත රෝගයක්‌ නොවේ. පරීක්‍ෂණ මගින් හඳුනා ගත යුතු රෝගයක්‌ ද නොවේ. එහෙත් ඒ කටයුතු නිවැරැදිව, සුදුසු අයුරින් සිදු වී නැත. එසේ නම් ඇගේ අත අහිමි වීමේ වරදට වගකිව යුතු අය සිටිය යුතු වෙති. මේ වන විට එහි සියලු තතු හෙළිවී ඇත. වරද ඒ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල බව හෙළි වී තිබේ. එහෙත් සිංහල ජන වහරේ එන පරිදි නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ යන කියමනට අනුව සමහර විට මෙය තාක්‍ෂණික වරදක්‌ බවට පත් වී වැරදිකරුවන් නිදොස්‌ විය හැකිය. එහෙත් වැරදි කිරීම මිනිස්‌ ගතියක්‌, සමාව දීම දේව ගතියක්‌ යෑයි කියා මෙය නොසලකා හරින්නටද බැරිය.

මේ වරද සිදු වී ඇත්තේ දෙවියන් අතිනි. දෙවියන් අතින් සිදුවන වැරැදිවලට දඬුවම් දීමේ හෝ සමාව දීමේ හෝ හැකියාව ඇත්තේ ස්‌වභාවධර්මයාට පමණි. මිනිසුන්ට හැක්‌කේ සිදුවූ අවනඩුව ගැන දෙවියන්ටම පවසමින් පසුතැවීමට පමණි.

එනිසා දැන් කළ යුත්තේ කුමක්‌ද?

කෙසේ හෝ මේ විපතින් අචලා අසරණ වී නැත. ඇයට පිහිටවන්නට බොහෝදෙනා ඉදිරිපත්වී සිටිති. මේ වන විට ඇයට කෘත්‍රිම අතක්‌ ලබාදෙන්නට ඇයට රැකියාවක්‌ ලබාදෙන්නට කෘතවේදී මිනිස්‌සු ඉදිරිපත් වී සිටිති. ඒ අතර ඇයගෙන් බාල ප්‍රචාරයක්‌ ලබාගන්නට ඇතැම් දේශපාලනඥයෝද උත්සාහ කරති.

අචලා වැනිම මෙලෙස වෛද්‍ය නොසැලකිල්ල නිසා අත පය අහිමි වූ තවත් බොහෝ දෙනා අප සමාජයේ සිටිති. තමාට සිදු වූ අවනඩුව ගැන කියන්නට දේවාලයක්‌ ඔබ හටද නැත. එනිසා ඔවුහු ඒවා නිහඬව විඳ දරාගෙන සිටිති. දෙවොල නිසලය. දෙවිඳු නිහඬය. පූජාසනය දෙස බලා අපි සිටිමු. අචලාට සිදු වූ ඒ විපත තවත් අයගෙන් අනාගතයේදී අසන්නට දකින්නට නොලැබෙන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ගනු ලබන පියවර දෙස අපි බලාපොරොත්තු දල්වාගෙන බලා සිටින්නෙමු.

අදාළ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ලැබුණු තොරතුරු පදනම් කරගෙන මෙම ලිපිය සකස්‌ කරන ලදී.

උපාලි ද සේරම්
Source: Divaina (Sri Lanka)