මෛත්‍රී, ශිරාල් හා ශිරන්ත වැටඋඩ එජාප ප්‍රබලයෙක්‌ ආණ්‌ඩුවට!

එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල තනතුරක්‌ දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ සහ පළාත් සභා මන්ත්‍රීවරු තිදෙනෙක්‌ ආණ්‌ඩුවට එක්‌වීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇත.

ඉදිරියේ සිදුකරන ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී මෙම මන්ත්‍රීවරයාට කැබිනට්‌ ඇමැති ධුරයක්‌ ලබාදීමට ආණ්‌ඩුව එකඟ වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ “දිවයින ඉරිදා සංග්‍රහය” ට වාර්තා විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ මෙම මන්ත්‍රීවරයා අතර පැයක පමණ සාකච්ඡාවක්‌ පසුගිය සතියේ පැවැති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශිරාල් ලක්‌තිලක, ශිරන්ත අමරසේකර සහ දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මෙලෙස ආණ්‌ඩුවට එක්‌වීමට නියමිත අතර ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආසන සංවිධායක ධුරයක්‌ සහ ඉදිරි පළාත් සභාවට තරග කිරීමට නාමයෝජනා ලබාදීමට ආණ්‌ඩුව එකඟ වී ඇතැයි ඉහත ආරංචි මාර්ග අනාවරණය කළේය.

වැඩිම මනාප සංඛ්‍යාවක්‌ ලබමින් බස්‌නාහිර පළාතට අයත් දිස්‌ත්‍රික්‌කයකින් මෙවර ද පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයා විපක්‍ෂයේ ඉදිරි පෙළ අසුනක්‌ හිමි අයෙකි.

එක්‌සත් ජාතික පක්‍ෂයට නියෝජ්‍ය නායක තනතුරු හතරක්‌ පත්කිරීම සම්බන්ධව ද විරෝධය පළ කර ඇති මෙම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළදී මෙන්ම ඉන් පිටතදී ද දැඩි ලෙස ආණ්‌ඩුව විවේචනය කරන්නෙකි.

ආණ්‌ඩුවට එක්‌වීමට සූදානම් වන පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනා එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්වය සමඟ පසුගිය කාලයේ දිගින් දිගටම ගැටුම් ඇති කර ගත්හ. ඔවුන්ට මීළඟ පළාත් සභා මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ නාම යෝජනා ලබාදීමට ද එකඟවී ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

Source: Divaina (Sri Lanka)