පොල් නඩුව අස්‌ කර ගනී

හොරණ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක විසින් රුපියල් 320 ක්‌ වටිනා පොල් ගෙඩි අටක්‌ අන්සතු ඉඩමකින් අහුලා ගැනීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (11 දා) පැමිණිල්ල විසින් ඉල්ලා අස්‌ කරගන්නා ලදී.

මේ බව හොරණ සහකාර පොලිස්‌ අධිකාරි අබේරත්න දිසානායක මහතා හොරණ මහෙස්‌ත්‍රාත් මහින්ද රණසිංහ මහතාට මෝසමක්‌ ඉදිරිපත් කරමින් දැන්වීය.

බස්‌නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ උපදෙස්‌ පරිදි මේ පිළිබඳව වෙනමම පරීක්‍ෂණයක්‌ පැවැත්වූ බව සහකාර පොලිස්‌ අධිකාරි අබේරත්න දිසානායක මහතා අධිකරණයට දැන්වීය.

මෙම පවුලේ උදවිය ඉතා දිළිඳු බවත් කිසිදු පිළිසරණක්‌ නොමැතිව ජීවත් වන බවත් පියාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙම පවුලට මෙවැනි තත්ත්වයක්‌ උදා වී ඇතැයි ද අධිකරණයට ඔහු දැන්වීය.

පැමිණිලිකරු මෙම නඩුව ඉල්ලා අස්‌ කර ගැනීමට කැමති බවට ප්‍රකාශයක්‌ ලබා දී තිබෙන බවත් ඔහු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ දරුවාට දඬුවමක්‌ ලබාදීමේ ෙච්තනාවෙන් නොවන බවත් පරිවාස භාරයට ලක්‌කර හෝ දරුවා යහමඟට ගැනීමට බවත් ඔහු විසින් දී ඇති ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වන බව ද පොලිස්‌ අධිකාරිවරයා විවෘත අධිකරණයේදී දැක්‌වීය.

මෙවැනි සුළු සිද්ධියක්‌ මාධ්‍ය මගින් අනවශ්‍ය ප්‍රචාරයක්‌ ලබාදීමෙන් පැමිණිල්ලට මෙන්ම විත්තියට ද අගතියක්‌ සිදු වූ බව මහෙස්‌ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විවෘත අධිකරණයේදී පැවසීය.

එනිසා මාධ්‍ය මීටත් වඩා වගකීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි මහෙස්‌ත්‍රාත් මහින්ද රණසිංහ මහතා පැවසීය.

දැරියට අධිකරණයෙන් ලබාදී තිබූ රු. 50,000 ක මුදල දඩ මුදලක්‌ ලෙස වරද්දා ප්‍රචාරය කළ බවත් ඔහු පැවසීය.

පැමිණිල්ල ඉල්ලා අස්‌කර ගැනීම නොතීසියක්‌ මගින් විත්තියට දැනුම් දෙන ලෙස ද මහෙස්‌ත්‍රාත් නියෝග කළේය.

විත්තිය වෙනුවෙන් නීතිඥ තුෂාර ගුණරත්න හා රොෂාන් දෙහිවල යන මහත්වරු පෙනී සිටියහ.

Source: Divaina (Sri Lanka)