මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේගෙන් රජයට යෝජනා 13 ක්‌

එම යෝජනා ඒකපාර්ශවිකයි – ඉටු කිරීමට බැහැ -රජය කියයි

ශ්‍රී ලංකාවට එල්ල කර ඇති යුද අපරාධ චෝදනා ගැන ස්‌වාධීන ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්විය යුතු බව දන්වමින් මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ යෝජනා 13 ක්‌ ඉටු කිරීමට ක්‍රියාකරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

ඇගේ පිටු 18 ක විමර්ශන වාර්තාව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වෙත භාරදී තිබේ. එහෙත් මේ වාර්තාව ඒකපාරශවික බව දන්වමින් රජය ඊට විරෝධය පළ කර ඇත. පිටු 18 කින් යුත් මේ වාර්තාවෙන් කොටි ස්‌මාරක හා සොහොන් කුටි ඉවත් කිරීම ගැනද ඇය සඳහන් කර තිබේ.

ඉන් ඉදිරිපත් කර ඇති නිර්දේශ මෙසේයි.

1. උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීම හා සුළු වාර්ගිකයන්ට පූර්ණ බලය ලබාදීම.

2. අතුරුදන්වූවන් සම්බන්ධව සොයා බැලීමට විශේෂ කොමසාරිස්‌වරයකු පත් කිරීම.

3. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශවලට අදාළ ක්‍රියාකාරී සැලැස්‌ම ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාවගේ අදහස්‌ ලබා ගැනීම.

4. මානව හිමිකම් කවුන්සලයට යොමු වූ යෝජනාවට අදාළ සහායවීමට ඉදිරිපත් වූ අයට ශ්‍රී ලංකාවට එන ලෙස ඇරයුම් කිරීම

5 රජයේ ආයතනවල ස්‌වාධීනත්වය රැකීම.

6. සාක්‍ෂිකරුව රැකීමේ නීතිරීති වධහිංසා සම්බන්ධව නව නීතිරීති ගෙනඒම.

7. ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව අපරාධ සම්බන්ධ නඩු සඳහා වෝහාරික විමර්ශන පැවැත්වීම.

8. යුක්‌තිය ඉටුකිරීම සඳහා සත්‍ය දැන ගැනීමේ යාන්ත්‍රණයක්‌ ආරම්භ කිරීම.

9. සහජීවන ක්‍රියාමාර්ගය සඳහා සිවිල් සංවිධාන හා වාර්ගික නියෝජනය සමග කටයුතු කිරීම.

10. හමුදා අධිකරණවල විවෘත භාවය සහ අනාගතයේදී කොටින්ට එරෙහිව පැවැත්වෙන නඩු විභාගවලදී ස්‌වාධීන නිරීක්‍ෂකයන් සහභාගි කර ගැනීම.

11. 2006 ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීම.

නවි පිල්ලේ තම විමර්ශන වාර්තාවෙන් චැනල් ෆෝ රූපවාහිනිය මගින් එල්ල කළ චෝදනා ගැනද සඳහන් කරමින් ඒ සම්බන්ධව ශ්‍රී ලංකා රජය වැඩිදුර තොරතුරු දන්වා නැති බව කියා සිටී.

එසේම වව්නියා හා වැලිකඩ සිරගෙවල්වල සිදුවීම් ගැනද ඇය ප්‍රශ්න කර ඇත. මෙයට අමතරව කොටි සුසාන භූමි හා ස්‌මාරක විනාශ කිරීම ගැනද වෙල්ලමුල්ලි වයික්‌කාල්හි ලැගුන් එඡ්. නමින් සංචාරක නිකේතනයක්‌ පිහිටුවීම ගැනත් නවි පිල්ලේ සිය වාර්තාවෙන් ප්‍රකාශ කර ඇත.

මෙකී වාර්තාව තුළින් යුද අපරාධ සම්බන්ධ සෙවීම සඳහා වූ එක්‌සත් ජාතීන්ගේ යාන්ත්‍රණයකට සහාය දක්‌වා තිබේ.

Source: Divaina (Sri Lanka)