ස්‌විස්‌ රජය කපුකමට ලෑස්‌තියි, මෙයට පෙර කොටි සංවිධානය සමග ද රජය සාකච්ඡා වට දෙකක්‌ පැවැත්වූයේ ස්‌විට්‌සර්ලන්තයේය.

ශ්‍රී ලංකාවේ සහජීවනය ඇති කිරීම සඳහා රජය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය සාකච්ඡා මේසයට ගෙන ඒම පිණිස ක්‍රියා කරන බව ස්‌විස්‌ රජය ඊයේ (15 දා) ප්‍රකාශ කර ඇත.

මේ සාකච්ඡා සඳහා දකුණු අප්‍රිකාව හා රාජ්‍ය නොවන සංවිධාන මැදිහත් වී තිබේ.

සාම තත්ත්වය මත මෙකී සාකච්ඡාවලට ස්‌විස්‌ රජය සහය දක්‌වන බව ස්‌විස්‌ විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා කැරොල් වයිට්‌ පවසා ඇත.

ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ සිවිල් සහ ආර්ථික කටයුතුවලට හමුදාව මැදිහත් වී ඇති බව ද ඇය කියා සිටියේය.

එහෙත් ස්‌විට්‌සර්ලන්තයේදී රජය සහ ද්‍රවිඩ සන්ධානය අතර සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් රජය මෙතෙක්‌ ප්‍රකාශයක්‌ කර නැත.

මේ සාකච්ඡා සඳහා මූල්‍යමය සහ දේශපාලනික සහය ලබාදෙන බව ද ස්‌විස්‌ රජය තවදුරටත් ප්‍රකාශ කර ඇත.

ස්‌විට්‌සර්ලන්තයේ කොටි හිතවාදී සංවිධාන තුනක්‌ ක්‍රියාත්මක වන අතර ස්‌විස්‌ රජය කොටි සංවිධානය තහනම් කර නැත.

මෙයට පෙර කොටි සංවිධානය සමග ද රජය සාකච්ඡා වට දෙකක්‌ පැවැත්වූයේ ස්‌විට්‌සර්ලන්තයේය. (කීර්ති වර්ණකුලසූරිය)

Source: Divaina (Sri Lanka)