“අපි ලෑස්‌තියි” මහින්ද සමරසිංහ ඇතුළු පිරිස අනිද්දා ජිනීවා යති

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට සහභාගි වීම සඳහා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නියෝජිත කණ්‌ඩායම අනිද්දා (25 වැනිදා) ජිනීවා බලා පිටත්ව යනු ඇත.

පෙරේදා (21 වැනිදා) රාත්‍රියේ පැවැති ඇමැති මණ්‌ඩල රැස්‌වීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා ජිනීවා මානව හිමිකම් සමුළුව නියෝජනය කරන ශ්‍රී ලංකා නියෝජිත කණ්‌ඩායමේ නායකයා ලෙස පත් කරනු ලැබ තිබේ.

ඇමැති මහින්ද සමරසිංහ මහතා සමග නීතිපති දෙපාර්තමේන්තුවේ සුහද ගම්ලත්, ශමීන්ද්‍ර ප්‍රනාන්දු ඒ. එච්. එම් ඩී. නවාස්‌, බුවනෙක අලුවිහාරේ, ජනක්‌ ද සිල්වා යන මහත්වරු ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ මධුක වික්‍රමආරච්චි, නෙරින් පුල්ලේ මහත්වරුන් සහ දිළිණි ගුණසේකර මහත්මිය ද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිශාන් මුතුක්‍රිෂ්ණ මහතා ද ජිනීවා බලා පිටත්වෙති.

මෙම සමුළුව අනිද්දා (25 වැනිදා) ජිනීවාහිදී ආරම්භ වන අතර 27 වැනිදා බදාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 4.20 ට ඇමැති මහින්ද සමරසිංහ මහතා සමුළුව ඇමතීමට නියමිතය.

නවිපිල්ලේ විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 13 සම්බන්ධයෙන් ද එහිදී ඇමැතිවරයා සමුළුව හමුවේ කරුණු ඉදිරිපත් කරනු ඇත.

මේ සම්බන්ධයෙන් “දිවයින” කළ විමසීමකදී ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවට එරෙහිව කුමන ආකාරයේ අභියෝග එල්ල වුවත් ඒ සියල්ල උදෙසා රට වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවයි.

Source: Divaina (Sri Lanka)