උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය එල්. සී. යූ. කුමාර අල්විස් මහතාගේ නිල නිවසට ඊයේ (22 වැනිදා) අලුයම 4.50 ට පමණ පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඒ මහතාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර පලා ගොස් ඇත.
ඇසිඩ් ප්‍රහාරයෙන් ඒ මහතාගේ මුහුණ සහ පපු ප්‍රදේශය දරුණු ලෙස පිළිස්සුම් තුවාල සිදුවී ඇත. ප්‍රතිකාර සඳහා ඒ මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුණු අතර, අනතුරුව දෑස්වලට සිදුවී ඇති තුවාලවලට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ ඇස් රෝහල වෙත රැගෙන යන ලදී.
ඉතාම නීතිගරුකව සිය රාජකාරිය අකුරටම ඉෂ්ට කරන නිලධාරියකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන වෛද්‍ය කුමාර අල්විස් මහතා අසරණ රෝගීන් වෙනුවෙන් සිය ජීවිතය කාලයම වෙන් කළ අයකු ලෙස කීර්තියක් දිනා ඇත.
නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම නිසා ඒ මහතා සමඟ උරුණ වූ කිසියම් පිරිසක් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
ප්‍රතිකාර ගැනීමට අසාධ්‍ය රෝගියකු පැමිණියහොත් දවසේ ඕනෑම වේලාවක ඒ සඳහා ඉදිරිපත් වීම අල්විස් මහතාගේ ප්‍රතිපත්තියක් බව ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.
ඊයේ අළුයම 4.50 ට පමණ ඒ මහතාට ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් ද නිල නිවසට පැමිණ ඇත්තේ ප්‍රතිකාර ගැනීම සඳහා රෝගියකු රැගෙන ආ බව කියමින්ය.
ඇසිඩ් ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ කුමාර අල්විස් මහතාගේ බිරිඳ වන වෛද්‍ය අල්විස් මහත්මිය ද නිවසේ සිට ඇත.
දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලබා විලාප නගමින් සිටි අල්විස් මහතා වහාම අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යැමට ඇය කටයුතු කර තිබේ. පරීක්ෂණවලින් හෙළිවූයේ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් දෙදෙනා පෙරේදා (21 වැනිදා) රාත්‍රි 9.00 ට පමණ නිල නිවසට පැමිණ වෛද්‍යවරයා පිළිබඳව එහි සිටි සේවිකාවකගෙන් විමසා ඇති බවයි.
ඒ අවස්ථාවේ වෛද්‍ය අල්විස් මහතා සිය බිරිඳ සහ දරුවන් සමඟ කොළඹ ගොස් සිට ඇත. අල්විස් මහතා එදින මධ්‍යම රාත්‍රියේ සිය බිරිඳ සහ දරුවන් සමඟ අනුරාධපුරයේ නිල නිවස වෙත පැමිණ තිබේ. ඊයේ අලුයම 4.50 ට පමණ අනුරාධපුර නගරයේ පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් නිල නිවසේ වෛද්‍ය අල්විස් මහතා නිදා සිටියදී පැමිණ ඇති සාහසිකයන් දෙදෙනා දොරට තට්ටුකර වෛද්‍යවරයා අවදි කර ඇත.
ඒ අවස්ථාවේ සිය නිල නිවසේ දොර විවෘත කර ඔවුන් දෙදෙනාට නිවස ඇතුළට පැමිණ අසුන් ගන්නා ලෙස අල්විස් මහතා කළ දැනුම් දීමකට අනුව එක් අයකු එහි ඇතුළු වී අසුන්ගෙන තමන් ආ කාරණය පිළිබඳව වෛද්‍යවරයාට පවසා තිබේ.
ඔවුන් එසේ කතා බස් කරමින් සිටියදී කිසියම් දුගඳක් වහනය වීම නිසා “මොකක්ද ගඳක් එනවා” යෑයි වෛද්‍යවරයා පවසා ඇත. ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වී ඇති නිවසින් පිටත සිටි සාහසික පුද්ගලයා නිවස තුළට කඩා වැදී එක්වරම වෛද්‍යවරයාගේ මුහුණට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වෛද්‍ය අල්විස් මහතාගෙන්, ඔහුගේ බිරිඳගෙන්, දරුවන්ගෙන් සහ සේවිකාවකගෙන් කටඋත්තර ලබාගෙන තිබේ.
ඇසිඩ් ප්‍රහාරය කව්රුන් විසින් එල්ල කළේ ද යන්න මෙතෙක් හෙළිවී නැත.
උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.
ආයුර්වේද කොමසාරිස්වරයාගේ නිවසේ සේවිකාව මෙම ඇසිඩ් ප්‍රහාරය පිළිබඳව මෙසේ පැවසුවාය.
පාන්දර 4.30 ට විතර බෙහෙත් ගන්න කියලා පිරිමි දෙන්නෙක් මහත්තයට ටෙලිෙµdaන් කරලා ගෙදරට ආවා. මහත්තයා දොර ඇරලා ඒ අයට වාඩි වෙන්න කිව්වා. හෙල්මට් දෙකත් අරගෙන ආපු පිරිමි දෙන්නා වාඩිවෙලා මහත්තයා සමඟ කතා කරමින් සිටියා. නෝනයි බබාලා දෙන්නයි ගේ ඇතුළේ හිටියේ.
මහත්තයා කෑ ගැහැව්වා. එතකොට අර මිනිස්සු දෙන්නා ඇසිඩ් ගහලා පැනලා දිව්වා. අපේ නෝනාත් දොස්තර කෙනෙක්. එයා ඉක්මනට මහත්තයාව ඇල්වතුරෙන් සේදුවා. මහත්තයාගේ මූණ, පපුව, අතක් පුරාම ඇසිඩ් ගලා ගියා. ඇස් දෙක වහගෙන මහත්තයා වේදනාවෙන් කෙඳිරි ගෑවා. නෝනා මහත්තයාව වත්තන් කරගෙන පයින්ම නිවසට යාබදව පිහිsටි අනුරාධපුර මහ රෝහලට ඇතුළු කළා.
දවස් ගණනක් ඉඳලා ටෙලිෙµdaන් කරලා මාතර ඉඳලා ලෙඩෙක් ගේනවා කිව්වා කියලා මහත්තයා නෝනාට කිව්වා.
මහත්තයා පෙරේදා (21 දා) කොළඹ ඉඳලා පාන්දර ගෙදර ආවේ. පාන්දර 4.00 ට විතර ඒ මිනිස්සු ගෙදර ඉස්සරහට ඇවිත් ටෙලිෙµdaන් කරලා තමයි ඇවිත් මේ අපරාධය කරලා තියෙන්නේ.
වෛද්‍ය කුමාර අල්විස් මහතා උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් ධුරයේ රාජකාරි කරන අතර තුර අනුරාධපුර ආයුර්වේද රෝහලේ පංචකර්ම රෝගීන් භාරව කටයුතු කළ අතර අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා, දිනවල දවස පුරාම එහි පළමුවෙනි වාට්ටුවේ සුවිශේෂී රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙහි යෙදී තිබේ.
පංචකර්ම චිකිත්සා ක්‍රමය ජනප්‍රිය වීම නිසා විශාල රෝගීන් පිරිසක් රෝහල්ගතව ඒ මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇත.
වෛද්‍ය අල්විස් මහතාට සිදු කළ අපරාධය පිළිබඳව ආයුර්වේද රෝහලේ රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලයද දැඩි කම්පාවට පත්ව සිටිති.
මෙම සිද්ධිය පිළිබඳව උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති රංජිත් පත්මසිරි, අනුරාධපුර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ. ජී. කේ. තිස්ස විතාරණ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාරසේන මහතා ඇතුළු නිලධාරීන් කණ්aඩායමක් සහ පොලිස් දෙපාර්තමේන්=වේ බුද්ධි තොරතුරු ඒකක කීපයක් වෙන් වෙන්ව පරීක්ෂණ කටයුතු ආරම්භකොට ඇත.
ඡායාරූප- පර්සි කුරුනේරු, සිරිල් බස්නායක
Source: Daily Mirror (Sri Lanka)
Image courtesy of Daily Mirror (Sri Lanka)