2013 බැඩ්මින්ටන් පළමු රන් පදක්‌කම දිනූක කරුණාරත්නගෙන්

උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන උගන්ඩා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ රන් පදක්‌කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක දිනූක කරුණාරත්න ඊයේ (24 දා) සමත්වූවේය.

ලන්ඩන් ඔලිම්පික්‌ තරගාවලියට තරග වැදීමට වරම් ලද ජාතික ශූර නිලුක කරුණාරත්නගේ බාලම සොහොයුරා වන දිනූක කරුණාරත්න අදාළ අවසන් මහ තරගයේදී ඉන්දීය ක්‍රීඩක සුබන්ඩා ඩේ පරාජයට පත් කරමින් අදාළ රන් පදක්‌කමට හිමිකම් කීවේය.

මිනිත්තු 30 ක කාලයක්‌ පුරා විහිදුණු මෙම තරගාවලියේදී තරග වට 2-0 ක්‌ ලෙස විශිෂ්ඨ ජයක්‌ වාර්තා කිරීමට දිනූක සමත්විය. එහිදී ලකුණු තත්ත්වය සටහන් වූයේ ලකුණු 21-16 ක්‌ සහ 21-17 ක්‌ වශයෙනි.

අර්ධ අවසන් තරගයේදී ඉතාලි ජාතික ටේ්‍රසියෝව ලකුණු 21-18 ක්‌ සහ 21-14 ක්‌ වශයෙන් මිනිත්තු 29 ක්‌ තුළදී තරග වට 2-0 ක්‌ ලෙසින් පරාජයට පත් කරමින් අවසන් මහ තරග අවස්‌ථාව දිනා ගත් දිනූක රන් පදක්‌කම දක්‌වා පැමිණි ගමනේ මුහුණ දුන් සෑම තරගයකදීම තරග වට 2-0 ක්‌ ලෙස ජය ලැබීමද කැපී පෙනෙන සිදුවීමක්‌ විය.

2013 වසර ආරම්භයේ සිට මෙතෙක්‌ පැවැති තරගවලදී ශ්‍රී ලංකාවට හිමිවූ පළමු රන් පදක්‌කම මෙම පදක්‌කම වීමද විශේෂත්වයක්‌ වේ. (චමිල කරවිට)

Source: Divaina (Sri Lanka)