කොතලාවල නෝනාට වරෙන්තු

ගනුදෙනුකරුවන් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් සමාගමේ තැන්පත් කළ රුපියල් කෝටි 430කට අධික මුදලක් වෙනත් සමාගම් වල යොදවමින් වංචනිකව හා සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ අධිකරණය මග හරිමින් විදේශගතව සිටින හය වන විත්තිකාරිය වන සිසිලියා කොතලාවල අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අධිකරණ අමාත්‍යාංශය හරහාඊයේ (28) වරෙන්තු නිකුත් කළාය.

සිසිලියා කොතලාවල අත්අඩංගුවට ගැනීමට අධිකරණ අමාත්‍යාංශය හරහා නිකුත් කළ වරෙන්තුව සම්බන්ධව කටයුතු පිළිබඳව අධීක්ෂණය කිරීමට නීතිපතිවරයා වෙත දැන්වීමටද විනිසුරුවරිය ඊයේ (28) නියම කළාය.

නඩුවේ හය වන විත්තිකාරිය වන සිසිලියා කොතලාවල එංගලන්තයේ සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් එම විත්තිකාරිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබුණද මෙතෙක් ඇයව අත්අඩංගුවට ගැනීමක් සිදු කර නොමැති බව ඊයේ (28) අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටි විනිසුරුවරිය විත්තිකාරිය අත්අඩංගුවට ගැනීමට අධිකරණ අමාත්‍යාංශය හරහා එසේ වරෙන්තු නිකුත් කළාය.

තවද සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල ඇතුළු සෙසු විත්තිකරුවන් අට දෙනාගේ ඇපකරුවනට ලබන මස 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමටද විනිසුරුවරිය ඊයේ (28) නියම කළාය.

මේ නඩුව ඊයේ (28) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ අගතියට පත් තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමුදු හේවගේ මහතා පවසා සිටියේ විදේශගතව සිටින විත්තිකාරිය ගෙන්වා ගැනීමට උදර්පණ පනත යටතේ පියවර ගත යුතු බවයි.

නමුත් අධිකරණ අමාත්‍යෘංශය හෝ නීතිපති දෙපාර්තමේන්තුව ඒ සඳහා මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසමින් නීතිඥ කුමුදු හේවගේ මහතා අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම සළකා බැලූ විනිසුරුවරිය විත්තිකාරිය අත්අඩංගුවට ගැනීමට එසේ අධිකරණ අමාත්‍යාංශය හරහා වරෙන්තු නිකුත් කළාය.

ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේ ලලිත් කොතලාවල ඇතුළු සෙසු විත්තිකරුවෝ අට දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

1999 මාර්තු මස 28 සහ 2008 දෙසැම්බර් මස 24 අතර කාලයේ දී බම්බලපිටියේ දී දැනට ජීවතුන් අතර නොමැති කුමාරස්වාමි හල්ලන් කුමාර යන අය සමඟ එක්ව 1988 අංක 78 දරන මූල්‍ය රෙගුලාසි පනතේ (2) 1 වගන්තියේ කොන්දේසිවලට පටහැනි ආකාරයට මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙනයාම සඳහා එකඟවීමෙන් හෝ එකී වරද සිදු කිරීම සඳහා අනුබල දීමෙන්‍ හෝ අනුබලදීමට කුමන්ත්‍රණ කිරීම එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස සී / ස ගෝල්ඩන් කී ක්‍රෙඩිට් සමාගම නමින් මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යාම ඇතුළු අධිචෝදනා 91 ක් යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇත.

Source: Dinamina (Sri Lanka)