අපේ ජාතික ක්‍රිකට්‌ පිල සල්ලිම ඉල්ලයි, මෙහෙම ගියොත් අපි අලුත් පිලක්‌ පත් කරනවා – ඇමැති කියයි

ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් මස්‌ රාත්තලම නොව රාත්තල් 1 1/2ක්‌ ඉල්ලන්නේ යෑයි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත් ගමගේ මහතා ‘දිවයින’ට පැවසීය.

ජාතික මට්‌ටමේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමග පවත්වන තරග කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමෙන් වැළකී සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතා එලෙස සිය අදහස්‌ පළකළ අතර රට දෙවනුවට තබා මුදල පෙරට ගෙන ක්‍රියාකරන මෙවැනි ක්‍රීඩකයන්ට එරෙහිව තමන් දැඩි ස්‌ථාවරයක සිටින බවට අවධාරණය කළේය.

වැඩි දුරටත් අදහස්‌ දැක්‌වූ ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ ද කීවේය.

‘ලෝකෙ අනිත් රටවල් තමන්ගේ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සාමාජිකයන්ට ලබාදෙන්නෙ ආදායමෙන් 25%යි. අපි අපේ ක්‍රීඩකයන්ට ආදායමෙන් 69%ක්‌ ලබාදෙනවා. ලෝකෙ කිසිම ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයක්‌ නොකරන තරම් ගෙවීම් කරලත් මේ අය තවත් 10%ක්‌ වැඩිපුර ඉල්ලනවා. මේක මස්‌ රාත්තලම නොව, මස්‌ රාත්තල් 1 1/2ක්‌ ඉල්ලන වැඩක්‌’

‘අද දවස ඇතුළත ක්‍රිකට්‌ ක්‍රීඩකයන් තරග කොන්ත්‍රාත්තුව අත්සන් නොකළොත් හෙට උදේ 9.00ට ජාතික තේරීම් කමිටුව එක තැනක අසුන්ගෙන බංගලිදේශ ක්‍රිකට්‌ තරගාවලියට අලුත්ම කණ්‌ඩායමක්‌ තෝරාවී’ යෑයි ක්‍රීඩා ඇමැතිවරයා ඊයේ ‘දිවයින’ට සිය අදහස්‌ දැක්‌වීමේදී දැඩි ස්‌වරයෙන් කියා සිටියේය.

‘අපේ ප්‍රධාන ක්‍රිකට්‌ ක්‍රීඩකයන් 8 දෙනෙකුට මාසයකට රුපියල් ලක්‍ෂ 40ක්‌ බැගින් ගෙවීම් කරනවා. ඒ කියන්නේ වසරකට රුපියල් ලක්‍ෂ 480යි. මේ මට්‌ටමේ අවම ආදායම ලබන ක්‍රීඩකයා වෙනුවෙනුත් වාර්ෂිකව රුපියල් ලක්‍ෂ 240ක මුදලක්‌ හිමිවෙනවා. මේ තරම් දීමනාවක්‌ ලැබෙද්දීත් ඇයි මේ අය තවත් සියයට දහයක්‌ ඉල්ලන එක සාධාරණද? ඇයි අපි පහළ මට්‌ටමෙන් ක්‍රිකට්‌ ක්‍රීඩාව නඩත්තු කරන්නේ නැද්ද? 19න් පහළ කණ්‌ඩායමක්‌ තරග සංචාරයකට යවන්නේ නැද්ද? ඉස්‌කෝලෙකට සයිඩ් විකට්‌ එකක්‌, බෝලින් මැෂිමක්‌ ලබාදෙන්නේ නැතිද.? ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව නඩත්තු කරනවා කියන්නේ ජාතික කණ්‌ඩායම නඩත්තු කරන එකම විතරක්‌ නොවෙයි කියන එක මේ අය දැනගන්න ඕනා. මේකද ක්‍රීඩකයෙක්‌ තමන් ඉස්‌මතුවුණු ක්‍ෂේත්‍රය ගැන තියෙන හැඟීම?’ යෑයි ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩකයන් අතර ඉකුත් තරග කොන්ත්‍රාත්තුව පෙබරවාරි 28 වැනිදායින් අවසන් වූ අතර ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ඉසව්වලින් පාලක මණ්‌ඩලයට හිමිවන මුදලින් 25%ක්‌ ක්‍රීඩකයන් වෙත ලබාදීමේ (2003 වසරේ සිට ක්‍රියාත්මක වූ ) දීමනාව අත්හිටුවීම හේතු කරගනිමින් ජාතික මට්‌ටමේ ඉහළින්ම සිටින ක්‍රීඩකයන් 23 දෙනෙකු (ජාතික සංචිතය) ඇතුළු ගිවිසුම්ගතවීමට නියමිත වූ ක්‍රීඩකයෝ 60 දෙනෙක්‌ ඒ සඳහා අත්සන් කිරීමෙන් වැළකී සිටියහ. ඔවුන්ට මේ සඳහා අත්සන් කිරීමේ අවසන් දිනය නියම වශයෙන් මාර්තු 2 වැනිදායින් අවසන් වුවද ඊයේ දිනය අවසන් වනතුරු හෙවත් තවත් පැය 24ක කාලයක්‌ ඒ සඳහා ඔවුන්ට ලබාදී තිබිණි.

Source: Divaina (Sri Lanka)