දුමින්ද දිවයිනට එයි, ගුවන් තොටුපළෙන් පිටතට ගියේ රෝද පුටුවකින්

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනෙක්‌ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඊයේ අලුයම 1.29 ට පමණ එමිරේට්‌ස්‌ ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් “දිවයින”ට පැමිණියේය.

වසරකට වැඩි කාලයක්‌ සිංගප්පූරුවේ මවුන්ට්‌ එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා ගුවන් යානයෙන් බැස රෝද පුටුවකින් ගුවන් තොටුපළෙන් පිටතට පැමිණියේය.

පසුව ඔහු නවලෝක රෝහල වෙත රැගෙන ගොස්‌ තිබේ. භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනකු ඝාතනය කිරීම, ඝාතනයට අනුබල දීම, අයුතු ජනරාශිය ඇතුළු තවත් චෝදනා කීපයක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවට පැමිණි බවට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව දැනගෙන ඇත්තේ ඊයේ පෙරවරුවේය.

පසුව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස්‌ අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ නවලෝක රෝහල වෙත ගොස්‌ දුමින්ද සිල්වා මහතා මුණගැසී ඔහුගෙන් ප්‍රකාශයක්‌ සටහන් කර ගත්හ.

මවුන්ට්‌ එලිසබෙත් රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුද දුමින්ද සිල්වා මහතා සමග නවලෝක රෝහල වෙත පැමිණ සිටි අතර තවත් විශේෂඥ වෛද්‍යවරු කීපදෙනෙක්‌ම ඔහුගේ ප්‍රතිකාර කටයුතු සඳහා එක්‌ව සිටියහ.

දුමින්ද සිල්වා මහතා සිටින තත්ත්වය අනුව ඔහු අධිකරණය වෙත රැගෙන යැමට නොහැකි බව වෛද්‍යවරුන් රහස්‌ පොලිසියේ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මේ පිළිබඳව අලුත්කඩේ අංක 06 අධිකරණයේ මහෙස්‌ත්‍රාත් සඳුන් විතාන මහතා වෙත කරුණු දැක්‌වීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කටයුතු කළහ.

ඉකුත් පළාත් පාලන මැතිවරණය පැවැති 2011 ඔක්‌තෝම්බර් 08 වැනිදා මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනෙක්‌ ඝාතනයට ලක්‌වූහ.

මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි භාරත ලක්‌ෂ්මන් මහතා සහ මන්ත්‍රී දුමින්ද සිල්වා අතර ඇතිවූ බහින්බස්‌ වීමක්‌ දුරදිග යැමෙන් මෙම වෙඩි තැබීම සිදුවිය.

එහිදී මන්ත්‍රී දුමින්ද සිල්වාද බරපතළ තුවාල ලැබීය. සති තුනකට ආසන්න කාලයක්‌ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා එම වසරේම නොවැම්බර් මස 01 වැනිදා සිංගප්පූරුවේ මවුන්ට්‌ එලිසබෙත් රෝහල වෙත රැගෙන ගොස්‌ තිබිණ.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු පුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාගේ ආධාරකරුවන් 11 දෙනකු ඇතුළු අවි ආයුධ රැසක්‌ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුව අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම සිවු මිනිස්‌ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දුමින්ද සිල්වා නොමැතිව නඩුව දිගින් දිගටම විභාගයට ගනු ලැබීය.

මේ අතර මෙම සිවු මිනිස්‌ ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට එරෙහිව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කිරීමට අධිකරණය පියවර ගත්තේය.

අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Source: Divaina (Sri Lanka)