ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ විශේෂඥ පුහුණු උපදේශක වශයෙන් බ්‍රසීලයේ ජයිරෝ ස්වාස්කි මහතා(44) පත් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඊයේ තීරණය කර ඇත.
ස්වාස්කි මහතාගේ සේවා කාලය ලබන අප්‍රේල් 01 දා සිට ඉදිරි තුන් වසර සඳහා බල පවත්වන බවත්, ස්වාස්කි මහතාගේ සහායක වශයෙන් ඔහු විසින්ම නම් කරනු ලබන බ්‍රසීල ජාතිකයකුද මෙම කොන්ත්‍රාත්තුවට සම්බන්ධ වන බවත්, සිද්ධිය පිළිබඳ කරන ලද විමසුමකදී පාපන්දු සම්මේලන විධායක නිලධාරී ක්‍රිෂාන්ත පෙරේරා මහතා අවධාරණය කළේය.
අපේක්ෂිත තත්ත්වය යටතේ වත්මන් ජාතික පුහුණුකරු සම්පත් පෙරේරා මහතාගේ අනාගතය කුමක්දැයි විමසන ලදුව, පාපන්දු 2013 නිලවරණයෙන් පසුව පත්වන නව විධායක කමිටුව විසින් සම්පත් පෙරේරා මහතාගේ සේවය පිළිබඳ තීරණයක් ගනු ඇතැයි පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.
අපේක්ෂිත බ්‍රසීල පුහුණුකරුගේ මාසික වේතනය ඇමරිකානු ඩොලර් 10,000/} ක් වේ. එයට අමතරව නවාතැන සහ වාහන පහසුකම්ද සම්මේලනය විසින් සැපයිය යුතු වේ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පිහිටුවා ඇති ජාතික සංචිතය සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ප්‍රාදේශීය මට්ටමින් තෝරා සංචිත ගත කළ ක්‍රීඩකයන් නව පුහුණුකරු යටතට පත් කොට ශ්‍රී ලංකා ජාතික පාපන්දු අවසාන සංචිතය ආශ්රයෙන් ජාතික කණ්ඩායම තේරීම් නව පුහුණුකරුගේ පළමු කර්තව්‍ය වේ. ලබන සැප්තැම්බර් මස නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු ශූරතාව ඔහුට පවරනු ලබන පළමු ඉලක්කය වේ.
ජයිරෝ ස්වාස්කි මහතා බ්‍රසීලයේ ගුවාරානි, ලජාඩෙන්සි, ආර්. එස්. සාවෝ ජෝස් සහ ග්රේනියොන් යන කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු වශයෙන්ද දකුණු කොරියාවේ ගුනේ යුහුඩා සහ හන්චින් ඉටු යන කණ්ඩායම්වල සහාය විදෙස් පුහුණුකරු වශයෙන්ද කටයුතු කර ඇත.
බ්‍රසීලයේ පිහිටි කාලෝස් ඇල්බර්ටෝ පාපන්දු පුහුණු මධ්‍යස්ථානයෙන් පාපන්දු තාක්ෂණය සහ න්‍යාය පිළිබඳ ඩිප්ලෝමාවක්ද ඔහු සතු බව වාර්තා වේ. (අසෝක ගුණතිලක)
Source: Divaina (Sri Lanka)