කිරිබත්ගොඩ සාප්පුවකින් කෝටි දෙකක රත්‍රං බඩු කොල්ලකති

කිරිබත්ගොඩ නගරයේ පිහිටි ප්‍රසිද්ධ ස්‌වර්ණාභරණ වෙළෙඳසලකට කඩාවැදුණු කොල්ලකරුවන් දෙදෙනකු ඊයේ (31 දා) පෙරවරුවේ එහි සිටි සේවිකාවන් දෙදෙනා ආයුධ පෙන්වා බියගන්වා රුපියල් කෝටි දෙකකට ආසන්න ස්‌වර්ණාභරණ කොල්ලකා පලාගොස්‌ ඇත.

ස්‌වර්ණාභරණ වෙළෙඳසලේ සේවිකාවන් දෙදෙනා ඊයේ පෙරවරුවේ සේවයට පැමිණ වෙළෙඳසල විවෘත කිරීමට සූදානම් වෙද්දී යතුරුපැදියකින් එහි පැමිණි කොල්ලකරුවන් දෙදෙනා සේවිකාවන් ද තල්ලු කරගෙන වෙළෙඳසල තුළට ගොස්‌ එහි වූ සේප්පු විවෘත කර මෙම කොල්ලය සිදුකර ඇතැයි මූලික පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී ඇති බව බස්‌නාහිර (උතුර) නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතා පැවසීය.

මේ අවස්‌ථාවේ වෙළෙඳසලේ ආරක්‍ෂාවට සිටි ආරක්‍ෂක නිලධාරියා කොල්ලකරුවන්ගේ උත්සාහය ව්‍යර්ථ කිරීමට කටයුතු කර ඇතත් මෙහිදී කොල්ලකරුවන් එම ආරක්‍ෂකයාගේ එක්‌ අතකට පිහියකින් පහර දී දරුණු තුවාල සිදුකර ඇත.

ඒ සමඟම වෙළෙඳ සේවිකාවන් අනතුරු ඇඟවීමේ සංඥ ක්‍රියාත්මක කර ඇති අතර එහිදී කිරිබත්ගොඩ පොලිසියේ නිලධාරි කණ්‌ඩායමක්‌ එම ස්‌ථානයට ළඟා වී තිබේ.

සේවිකාව අනතුරු ඇඟවීමේ සංඥව නාද කරනු දුටු කොල්ලකරුවන් වහාම පොලිසිය පැමිණීමට පෙර පැමිණි යතුරුපැදියෙන්ම පලාගොස්‌ ඇත.

බස්‌නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතාගේ උපදෙස්‌ පරිදි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලිසිය හා බස්‌නාහිර පොලිස්‌ බුද්ධි ඒකකය ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වති. (සමන් ගමගේ , නෝමන් පලිහවඩන සහ සචිත්‍ර ඇල්වලගේ)

Source: Divaina (Sri Lanka)