ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාව පිළිබඳව රජය, එක්සත් ජනපදය සමඟ සිදුකිරීමට අපේක්ෂිත සාකච්ඡා පවත්වන්නේ වොෂින්ටනයේද, ජිනීවාහිද නැතිනම් කොළඹදී දැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.
මෙම සාකච්ඡා එක්සත් ජනපද රජයට පමණක් සීමාවන්නේද, නැතිනම් අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ඉන්දියාව, එක්සත් රාජධානිය හා අනෙකුත් රටවල් ද ඇතුළත් කරගන්නේදැයි රනිල් වික්‍රමසිංහ මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශයක් කරමින් විමසා සිටියේය.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.
“ශ්‍රී ලංකාව පිළිබඳව ශ්‍රී ලංකාව තුළ ප්රතිසන්ධානය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම” නමින් වූ අංක AරැHRCරැ22රැඛ4 දරන යෝජනාවලිය සම්මත කළ විගස ශ්‍රී ලංකා රජය මෙම යෝජනාවලිය හෝ එහි අන්තර්ගතය හා එකඟ නොවන අතර රජය විසින් ක්‍රියාවට නංවන ලද ප්රතිසන්ධාන වැඩපිළිවෙළ සතුටුදායක මට්ටමක පවත්නා බවට මහින්ද සමරසිංහ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති බව වාර්තා විය.
මෙවන් අවධානයකට ශ්‍රී ලංකාව තෝරා ගැනෙන්නේ ගැටලුවේ බරපතළ බව නිසා නොව සදාචාරාත්මක හෝ ආචාර ධාර්මික වටිනාකම්වලට කිසිසේත් අදාළ නොවන්නා වූ හේතු නිසා වන අතර ඒවා දේශපාලනික ස්වභාවයේ වටිනාකම බව මම සෘජුවම ප්‍රකාශ කරමි යන්න රජයේ නිලධාරීන්ගේ ස්ථාවරය විය.
ඉනික්බිති 2013-08-27 දිනැතිව කොංග්රස් බ්ලොග් අඩවියෙහි ද හිල් වෙත ප්‍රකාශයක් කරමින් එක්සත් ජනපදයේ තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා සඳහන් කළේ 2009 වර්ෂයේ සිට බොහෝ දේ සාර්ථකව ඉටුකර ගෙන ඇති අතර කළයුතු තවත් බොහෝ දේ ඇත යන්නයි.
මෙම ප්‍රකාශයට විරුද්ධව මේ දක්වා කිසිදු අදහසක් ප්‍රකාශ කරනු ලැබී නොමැති බැවින් එය රජයේ නිල ස්ථාවරය පිළිබිඹු කරන්නක් වශයෙන් පිළිගත හැක.
ප්රජාතන්ත්රවාදය කෙරෙහි පමණක් නොව නීතියේ පාලනයට හා ස්වාධිපත්‍ය මූලධර්මවලට ගරුකිරීම කෙරෙහි ද කැපවීමක් පවත්නා බව ද තානාපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදී.
Source: Divaina (Sri Lanka)