බේරුවල රොක්ලන්ඩ් හන්දිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී පෙරේදා (20 දා) රාත්‍රි 7.30 ට පමණ බස් රියක් දුම්රියක ගැටී සිදු වූ අනතුරින් තුවාල ලැබූ 28 දෙනකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත. ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ සිව්දෙනකු කොළඹ ජාතික රෝහලට මාරු කර යෑවූ බව එම රෝහල් ප්‍රකාශකයෙක් “දිවයින” ට පැවසීය.
ජාතික රෝහලට ඇතුළත් කෙරුණු තුවාලකරුවන් සිව්දෙනා අසාධ්‍ය තත්ත්වයෙන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
අකුරැස්සේ අවමංගල්‍යයකට සහභාගිවීමට මහනුවර කරදුවාවිල උඩවත්තේ සිට බස් රථ දෙකක් පැමිණ ඇති අතර එම කටයුතු අවසන් වීමෙන් පසු කාන්තාවන් පමණක් පැමිණි බස් රථය අධිවේගී මාර්ගය ඔස්සේ නුවර බලා ගොස් තිබේ. පිරිමි පිරිස රැගත් බස් රථය රාත්‍රි කෑම ගැනීමට හිතවතකුගේ මාගල්කඩ නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබේ.
බස්රථයේ ගැටුණු බලවේග කට්ටල දුම්රිය පෙරේදා සවස 5.55 ට පමණ කොළඹ සිට ගාල්ල බලා පිටත් වී තිබේ. පයාගල දුම්රිය ස්ථානයට මෙම දුම්රිය රාත්‍රි 7.27 ට නියමිත වෙලාවට පැමිණ ඇති අතර පසුව පයාගලින් එම දුම්රිය පිටත්වී විනාඩි කීපයකින් මේ අනතුර සිදුවී ඇතැයි පයාගල දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
මෙම බස් රථයේ සිටි පිරිසගේ ජීවිත බේරුණේ දුම්රිය මන්දගාමී එකක් වූ නිසා බවත් බසය ශීඝ්‍රගාමී දුම්රියක ගැටුණේ නම් තත්ත්වය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබූ බවත් දුම්රිය සේවකයෝ පැවසූහ.
දුම්රියේ ගැටීමත් සමඟ බස්රිය ගාලු පාරට විසිවී වැටී තිබේ. එහිදී බස්රථයේ සිටි පිරිසක් පාරට විසි වූ බව ඇසින් දුටුවෝ පැවසූහ.
අනතුර සිදු වූ ස්ථානයට ගොස් නිරීක්ෂණය කළ ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා එම ස්ථානයට ආරක්ෂිත ගේට්ටු සවිකිරීමට පොරොන්දු විය. එමෙන්ම ඇමැතිවරයා අනතුරින් තුවාල ලැබුවන්ගේ සුවදුක් විමසීමට කළුතර නාගොඩ රෝහලට පෙරේදා රාත්‍රියේම ගියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද සිල්වා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සචිත්ර ඇල්වලගේ, විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ
පසුබිම් වාර්තා – ඇන්ටන් අන්ද්‍රdදි – මග්ගොන, තිලක් විඡේසුන්දර – ඉඳුරුව, බී. එස්. ජයසිංහ – බණ්ඩාරගම, කමල් ශ්‍රී ලියනගේ – අහුංගල්ල, සිරිසෝම සුසෙව්හේවා – වාද්දුව
Source: Divaina (Sri Lanka)