දුමින්ද ඇප මත මුදාහරී

රු. 50,000 ක මුදල් ඇපයක්‌ සහ ලක්‍ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක්‌
පිටරට යැම සහ සාක්‌කිකරුවන්ට බලපෑම් එල්ල කිරීමටත් බැහැ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවකු ලෙස රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රුපියල් පනස්‌දහසක්‌ වටිනා මුදල් ඇපයක්‌ හා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප 2 ක්‌ මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ඊයේ (24 දා) නියෝග කළේය.

දුමින්ද සිල්වා මහතා ඇපමත මුදාහැරීමට නීතිපතිවරයාගේ විරුද්ධත්වයක්‌ නොමැතිවීම ගැන සැලකිලිමත් වෙමින් එසේ නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුගේ විදෙස්‌ ගමන් තහනම් කරමින් විදෙස්‌ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත් කරන ලෙසත් සාක්‌කිකරුවන්ට බලපෑම් එල්ල කිරීමක්‌ සම්බන්ධයෙන් පැමිණිල්ලක්‌ ඉදිරිපත් වුවහොත් ඇප නියමය අවලංගු කොට යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කරන බවත් පැවැසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ (111) ස්‌ථානාධිපතිවරයා හා නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් විත්තිකාර දුමින්ද සිල්වාගේ පියා වන වින්සන්ට්‌ ප්‍රේමලාල් සිල්වා මහතා ගොනුකර තිබූ ඇප අයදුම් පත්‍රය සලකා බලමින් මහාධිකරණ විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඇප අයෑදුම කැඳවූ අවස්‌ථාවේදී අයෑදුම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්‌වමින් 2011 ඔක්‌තෝබර් 08 දා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තබා ගැනීමෙන් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනයට ලක්‌වීමට අදාළව කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවේ 11 වැනි විත්තිකරු ලෙස නම්කර රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති දුමින්ද සිල්වා ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

වෙඩි තබා ගැනීමෙන් දුමින්ද සිල්වා මහතාගේ හිසට බරපතළ තුවාල සිදුවූ බව කියා සිටි ප්‍රේමරත්න මහතා එම තුවාල හේතුවෙන් ඔහුගේ මොළයට දැඩි ලෙස හානි සිදුව ඇති බව පෙන්වා දුන්නේය.

නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා(- හිසට ඇතිවූ තුවාල හේතුවෙන් විත්තිකරුගේ මොළයට දැඩි හානිවෙලා තියෙනවා ස්‌වාමීනි.

මහාධිකරණ විනිසුරු(- විත්තිකරුගේ මොළේ තියෙනවාද?

විත්තිකරුට සිදුවූ තුවාලවලට මෙරටදී ප්‍රතිකාර සිදුකර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු විදේශ රෝහලකටද ඇතුළත් කළ බව කියා සිටි නීතිඥවරයා විත්තිකරුගේ හිස්‌ කබලෙන් ඉවත් කළ කොටස නැවත රෝපිත කිරීමට නොහැකිවූ නිසා ඒ වෙනුවට ටයිටේනියම් ලෝහයෙන් සාදන ලද කොටසක්‌ ඔස්‌ටියෝවේෂ් ක්‍රමයට බද්ධකර ඇති බවත් ඔහුගේ හිස යථා තත්ත්වයට පත් වීමට වසර දෙකත් පහත් අතර කාලයත් ගතවිය හැකි බැවින් ඒ සඳහා නිතර වෛද්‍ය පරීක්‍ෂණයන්ට භාජන කළ යුතු බවත් කියා සිටියේය.

දැනට අප්‍රාණිකව ඇති විත්තිකරුගේ ශරීරයේ වම් පැත්ත පුනරුත්ථාපන සත්කාර මගින් යථා තත්ත්වයට පත් කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවත් විත්තිකරු පෙර සිටි පරිදිම සුවවී සමාජයට ඒමට හැකි තත්ත්වයක්‌ ඒ සඳහා නිර්මාණය විය යුතු බවත් කියා සිටි ප්‍රේමරත්න මහතා විත්තිකරුගේ මොළයට සිදුවූ තුවාල හේතුවෙන් හා ඇතිවූ මානසික පීඩනයෙන් වූ ආතතිය දෙස බලන විට ඔහු සිය මව්පියන් හා සහෝදර සහෝදරියන් සමග සාමාන්‍ය තත්ත්වයක්‌ යටතේ සිටීම ඉතා වැදගත් බවට වෛද්‍යවරුන් උපදෙස්‌ ලබාදී ඇති බවත් කියා සිටියේය.

විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති ඔහු ඕනෑම ඇපයකට යටත් කොට මුදාහරින ලෙසද ඉල්ලා සිටි නීතිඥවරයා ඔහු සම්බන්ධයෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂි විඡේරත්න මහත්මිය නිකුත් කර ඇති වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගන්නා ලෙසට ඉල්ලා සිටියේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන සිල්වා මහතා කරුණු දක්‌වමින් විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වයන් සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥයන් දක්‌වා සිටි කරුණු කෙරෙහි අධිකරණය සෑහීමකට පත් වන්නේ නම් ඔහු ඇපමත මුදාහැරීමට විරුද්ධත්වයක්‌ දක්‌වන්නේ නැති බව කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහාධිකරණ විනිසුරුවරයා රුපියල් 50000 මුදල් ඇපයක්‌ හා රුපියල් ලක්‍ෂ 5 ක්‌ වටිනා ශරීර ඇප දෙකක්‌ මත විත්තිකරු මුදාහරින ලෙසත් මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් පිළිගන්නා පුද්ගලයන් ඇපකරුවන් ලෙසට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.

විත්තිකරුගේ විදෙස්‌ ගමන් තහනම් කරමින් විදෙස්‌ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත් කරන ලෙසද නඩු විභාගයේ සාක්‌කිකරුවන්ට බලපෑම් එල්ල කිරීමක්‌ සම්බන්ධයෙන් පැමිණිල්ලක්‌ ඉදිරිපත් වුවහොත් ඇප නියමය අවලංගු කොට යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කරන බවද වැඩිදුරටත් නියෝග කළේය. (සමන්ත ඉලේපෙරුම)

Source: Divaina (Sri Lanka)