පාපන්දු මුදල් රුපියල් කෝටි 50ක්‌ සුනාමියෙන් සුන්…?

සුනාමියෙන් අලාභ හානි සිදුවූ පාපන්දු ක්‍රීඩාංගණ 13 ක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීම සහ යාවත්කාලීන කිරීම සඳහා ජගත් පාපන්දු සම්මේලනය විසින් සිය ගෝල් ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන ලද ඇමරිකානු ඩොලර් තිස්‌ නම ලක්‌ෂ හැත්තෑ අටදහස්‌ හාරසිය හතළිස්‌ හයක්‌ (39,78,446) ක්‌ හෙවත් රුපියල් හතළිස්‌ හත් කෝටි හැත්තෑ හතර ලක්‌ෂ දහතුන්දහස්‌ පන්සිය විසි හතක (රු. 477,413,527) මුදල සහතික වශයෙන්ම එම කටයුත්ත සඳහා භාවිතා කළේද නැතහොත් එම ගනුදෙනුවලදී කිසියම් අස්‌වාභාවික තත්ත්වයක්‌ උද්ගත වී ද යන්න සලකා බැලීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති රංජිත් රුද්‍රිගු මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සත් පුද්ගල කමිටුවක්‌ පත් කර ඇත.

හිටපු පාපන්දු සභාපති අම්පාර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර සභාපතිත්වය දරන මෙම කමිටුවට බ්‍රිගේඩියර් එච්. ඩී. ඩබ්ලිව්. කාරියවසම්, රියර් අද්මිරාල් ආනන්ද පීරිස්‌, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කේ. පී. පී, පතිරණ, පොලිස්‌ පාපන්දු ලේකම් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පද්මසිරි මුණසිංහ සහ වත්මන් ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි උපාලි හේවගේ (සම්බන්ධීකරණය) යන මහත්වරු අයත්වන අතර සුගතදාස ක්‍රීඩාංගන අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත සමරතුංග ක්‍රීඩා අමාත්‍යාංශ නියෝජිතයා වශයෙන් කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති රංජිත් රුද්‍රිගු මහතා ඉකුත් සතියේ ස්‌විට්‌සර්ලන්තයේ පිහිටි ජගත් පාපන්දු සම්මේලන මූලස්‌ථානයේදී ජගත් පාපන්දු සම්මේලන සභාපති සෙප් බ්ලැටර් මහතා බැහැ දැකීමෙන් (23 දා) අනතුරුව පැවැති විශේෂ සාකච්ඡා වාරයකදී ශ්‍රී ලංකා සුනාමි ආධාර විෂයය මාතෘකාවට බඳුන් වී ඇත. (අසෝක ගුණතිලක)

Read More: http://www.divaina.com/2013/04/29/sports01.html