එල්. ටී. ටී. ඊ. මිසයිල ප්‍රහාරයකට ලක්වී ඉරණතිව් දූපත අසලදී මුහුදට කඩා වැටී අතුරුදන් වූ ලයන් එයාර් ගුවන් යානයේ කොටස් ගොඩගැනීම අද (3 වැනිදා) සිදු කෙරේ.
මන්නාරම මුහුදු ප්‍රදේශයේ ඉරණතිව් දූපතට නාවික සැතපුම් 4 ක් පමණ උතුරු දෙසින් මීටර් 20 ක් ගැඹුරු මුහුද යට තියෙන මෙම කොටස් ගොඩ ගැනීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ඇත.
1998 වසරේ සැප්තැම්බර් 29 වැනිදා යාපනය පළාලි ගුවන් තොටුපළේ සිට රත්මලාන ගුවන් තොටුපළ බලා පියාසර කරමින් තිබියදී මෙම ගුවන් යානයට එල්. ටී. ටී. ඊ. මිසයිල ප්‍රහාරයක් එල්ල විය.
ඒ වන විට එහි කාර්ය මණ්ඩලයේ 7 දෙනකු සහ උතුරේ සාමාන්‍ය දෙමළ වැසියන් 48 දෙනකු ඇතුළු පුද්ගලයන් 55 දෙනකු සිට ඇත.
කාර්ය මණ්ඩලයට අයත් 7 දෙනාගෙන් යානයේ නියමුවා හා උපනියමුවා රුසියන් ජාතිකයෝ වූහ.
ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු කොටි ත්රස්තවාදීන් විසින් ලබා දුන් තොරතුරුවලට අනුව මෙම ගුවන් යානය කඩා වැටී තිබූ ස්ථානය නිශ්චිතවම අනාවරණය කර ගෙන ඇත. (සිරිමෙවන් කස්තුරිආරච්චි)
Source: Divaina (Sri Lanka)