කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහල කියන්නේ වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට ඇති වන ඕනෑම රෝගයකට ප්‍රතිකාර ලබාදීමේ පහසුකම් ඇති ශ්‍රී ලංකාවේ ඇති එකම රෝහලයි. එනිසා මෙම රෝහලට ශ්‍රී ලංකාවේ සෑම ප්රදේශයකින්ම ප්‍රතිකාර සඳහා ළමුන් රැගෙන එනවා. මෙසේ රැගෙන එන ළමුන් අතර සති ගණන් මාස ගණන් නේවාසික ප්‍රතිකාර ලැබිය යුතු ළමුන් ද සිටිනවා.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 6 ත් 12 ත් අතර දරුවකුට මෙලෙස නේවාසිකව ප්‍රතිකාර ලබාදීමේදී එම දරුවාගේ අධ්‍යාපනයට යම් බාධාවක් මතුවෙනවා. ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන දරුවකු නම් එවැනි අවස්ථාවකදී පළමු තැන දිය යුත්තේ දරුවා ජීවත්කරවීමටයි.
නමුත් ඇතැම් දරුවන්ට එතරම් බරපතළ නොවුණත් නේවාසිකව ප්‍රතිකාර ලබාදිය යුතුයි. ඉතිං…. එවැනි දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් රෝගයට අමතරව අධ්‍යාපනයට සිදුව ඇති බාධාවන් ගැන සිතමින් පසු තැවෙනවා.
පිටරටවල නම් මෙවැනි දරුවන්ට රෝහල තුළ සිට අධ්‍යාපනය ලැබීමේ පහසුකම් සපයා තිබෙනවා. ශ්‍රී ලංකාවේ මෙම පහසුකම් ඇති කිරීම ගැන මීට වසර කිහිපයකට පෙර පැවතියේ සිතුවිල්ලක් විතරයි. විදේශයන්හි වෛද්‍ය පුහුණුව ලබන්නට ගිය බොහෝ වෛද්‍යවරු මෙම පහසුකම් ශ්‍රී ලංකාවේ ඇති කිරීම සම්බන්ධව අදහස් සහ යෝජනා ඉදිරිපත් කර තිබුණත් එය ක්‍රියාවට නැංවීමට නොහැකිව තිබුණා. එහිදි කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ වත්මන් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා එය ක්‍රියාවට නංවන්න පියවර ගනු ලැබුවා. ඇත්තෙන්ම එය අප අගය කළ යුතුයි.
ඒ අනුව ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා සුබ මොහොතින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන සහ අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රිඡ්වේ ආර්යා ළමා රෝහල තුළත් පාසල් ආරම්භ වුණා.
රෝහලක් තුළ පාසලක් තියෙනකොට එහි ක්‍රියාකාරිත්වය කොහොමද? අපට මෙය අලුත් අත්දැකීමක් නිසා එවැනි ගැටලු මතුවෙනවා. ඒ ගැටලුවට පිළිතුරු තමයි අප මේ සපයන්නේ.
මේ අලුත් පාසලට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රාථමික පුහුණු ගුරුවරු පස්දෙනෙක් අනුයුක්ත කරලා තියෙනවා. සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන්න ගුරුවරුන් හතර දෙනකුයි දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන්න එක ගුරුවරයෙකුයි ලෙස මෙම ගුරුවරුන් අනුයුක්ත කරලා තියෙනවා. හැබැයි දෙමළ මාධ්‍ය ගුරුතුමිය නම් තවම ලැබිලා නැහැ. ඇය එනතුරු රෝහලේ හෙද නිලධාරිනියක් ඒ අඩුව පුරවනවා.
ඉතිං… මේකත් පාසලක්නෙ. එනිසා පෙරවරු 7.30 ට ආරම්භ වෙනවා. සවස 1.30 දක්වා අධ්‍යාපන කටයුතු සිදු කරනවා.
හැබැයි පංති කාමර නැහැ. නේවාසික රෝගී දරුවන් සිටින වාට්ටුවලට ගිහින් තමයි මේ ගුරුවරුන් දරුවන්ට උගන්වන්නේ. ඒ සඳහා ප්‍රධාන හෙදි නිලධාරිනියගේ උපදෙස් ලබාගන්නවා. මොකද අධ්‍යාපනය ලබාදිය හැකි මට්ටමේ සිටින දරුවන් හඳුනාගත යුතුයි. දරුවාගේ රෝගී තත්ත්වය අනුව අධ්‍යාපනය ලබාදිය හැකි මට්ටමේ නැතිනම් එවැනි දරුවන්ට ඉගැන්වීම් කරන්නේ නැහැ.
මොකද දරුවාගේ රෝග තත්ත්වය අධ්‍යාපනයට බාධාවක් නොවිය යුතුයි. එසේම දරුවාට අධ්‍යාපන කටයුතු සිදු කරගත හැකි මානසික මට්ටමකුත් තිබිය යුතුයි. එනිසා මෙම රෝහල් පාසල පවත්වාගෙන යැම හිතන තරම් පහසු නැහැ. දරුවාගේ රෝග තත්ත්වයට සිදු කරනු ලබන ප්‍රතිකාර සඳහා මෙම අධ්‍යාපන කටයුතු බාධාවක් නොවිය යුතුයි.
ළමා රෝහලේ පාසල ගැන රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පැවසුවේ හරි අපූරු කථාවක්.
රෝහලක් තුළ පාසලක් පවත්වාගෙන යන කටයුත්ත අපට අලුත් අත්දැකීමක් වුණාට මෙය බටහිර රටවල රෝහල්හි ක්‍රියාත්මක වෙනවා. මම වෛද්‍ය පරිපාලනය සම්බන්ධව ඇමරිකාවේ අධ්‍යාපනය ලබන විට එහි රෝහල්හි මෙවැනි රෝහල් පාසල් ක්‍රියාත්මක වන අයුරු දැක්කා. එසේම අපේ බොහෝ විශේෂඥවරුන් විදේශයන්හිදී මෙම අත්දැකීමට මුහුණ දී තිබෙනවා. එනිසා මෙය ක්‍රියාත්මක කරන්න අපට පහසු වුණා.
රිඡ්වේ ආර්යා ළමා රෝහල වසර 2020 වන විට ආසියාවේ හොඳම ළමා රෝහල බවට පත්කිරීමයි අපගේ ඉලක්කය. ඉතිං… එම ඉලක්කයට යන විට අපගේ රෝහල සියලු පහසුකම්වලින් අංග සම්පූර්ණ විය යුතුයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම රෝහල් පාසල් වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවා.
රිඡ්වේ ආර්යා ළමා රෝහලේ මූලික සංකල්පය තමයි ‘ආදරය අපේ භාෂාව’ යන්න. ඉතිං එම සංකල්පය තුළ දරුවකුගේ නීරෝගී බව ගැන මෙන්ම උගත්කම ගැනත් සැලකිලිමත් වෙනවා.
දරුවකුගේ කිසියම් රෝගයක් නිසා එම දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න දෙන්න බැහැ. දරුවා මානසිකව කඩා වැටෙන්න ඉඩ දෙන්න බැහැ.
අපේ රෝහල තුළ ආරම්භ වූ පාසලේ ඉගැන්වීම් කටයුතු සිදු කරන ක්‍රම කිහිපයක් තිබෙනවා.
නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා කාලය තුළ අතපසු වන පාඩම් දරුවා ඉගෙනුම ලබන පාසලේ ගුරුවරුන් සමග සම්බන්ධීකරණයක් ඇති කරගෙන අපගේ ගුරුවරුන් මගින් ලබා දෙනවා.
සාමූහික ක්‍රියාකාරකම්වල යෙදවීමට අවශ්‍ය නම් ඒ සඳහා දරුවන්ව රෝහල් වාට්ටුවෙන් පිටතට අරගෙන එම ක්‍රියාකාරකම්වල යොදවනවා.
මේ සියල්ලෙන්ම අප බලාපොරොත්තු වන්නේ දරුවා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවත් නිවසේ සිටින විට ලැබෙන පහසුකම් ලබාදීමයි. එතකොට දරුවාට රෝහල්ගතව සිටීම නිසා ඇතිවන මානසික පීඩනය නැති වෙනවා. හැබැයි මේ සියල්ල කරන්නේ බටහිර සංකල්ප සමග නෙවෙයි. අපේ දේශීය සංකල්පවලට අනුවයි.
රිඡ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගෙන් ලබුණු තොරතුරුත්, අප දෑසින්ම දුටු රෝහල් පාසලේ තොරතුරුත් අනුව ළමා රෝහල ගැන ඇතිවන්නේ ලොකු ආඩම්බරයක්. අපටත් මෙවැනි අංග සම්පූර්ණ පහසුකම් සහිත රෝහලක් තියෙනවා කියන හැඟීම ඇති වෙනවා වගේම මේ සියලු පහසුකම් ලැබෙන්නේ නොමිලයේ කියන එකත් මතක් වුණාම තවත් ආඩම්බර හිතෙනවා. ඉතිං මේ පහසුකම් රැකගන්නත් ඊට තවත් උදවු උපකාර කරන්නත් හැකි හෑම දෙනාම එකතු වුණොත් අපේ රිඡ්වේ ආර්යා ළමා රෝහල අසියාවේ විතරක් නෙවෙයි ලෝකයේ තියෙන හොඳම පහසුකම් සහිත රෝහල බවට පත් කරන්නත් එච්චර අමාරු නැහැ. ඊට අවශ්‍ය වන්නේ ආදරය කරුණාව සහ කැපවීම විතරයි. (උපාලි ද සේරම්)
Source: Divaina (Sri Lanka)