භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩු විභාගයට දුමින්ද ප්‍රථම වරට උසාවි එයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට ඇප කොන්දේසි යටතේ මුදාහැර සිටින විත්තිකරුවන් 13 දෙනා අතරින් එකොළොස්‌වැනි විත්තිකරු වන දුමින්ද සිල්වා ඊයේ (06 දා) ප්‍රථම වරට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ පෙනී සිටියේය.

සැකකාර මන්ත්‍රීවරයා සිය ආරක්‍ෂකයන් සමඟ අධිකරණය වෙත පැමිණි අතර අංක 09 දරන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව විභාගයට ගන්නා ලදී.

නඩුව කැඳවූ අවස්‌ථාවේ චූදිත දුමින්ද සිල්වා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා සිය සේවාදායකයා මුහුණපෑ සිද්ධියට අදාළව 2011.10.08 දින සිට ප්‍රතිකාර ලබා දී ඇති ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් හා සිංගප්පූරුවේ මවුන්ට්‌ එලිසබෙත් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් නිකුත් කළ වෛද්‍ය වාර්තා එකින් එක අධිකරණයට ඉදිරිපත් කළේය. සිද්ධිය සම්බන්ධව වරින්වර ඇතැම් පාර්ශ්වයන් විසින් සිදුකර ඇති ඇතැම් අසත්‍ය ප්‍රකාශ නිසා තම සේවාදායකයාට අසාධාරණයක්‌ සිදුව ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. එසේ එවැනි කරුණු සම්බන්ධව ඉදිරියේදී වෙනත් අධිකරණයක්‌ හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ඉකුත් 2011.10.08 දින හෝ ඊට ආසන්න දිනක කොලොන්නාව, ගොතටුව, අංගොඩ හා සේදවත්ත යන ප්‍රදේශවලදී ජනරාශිගතව පුද්ගලයන්ට සාපරාධී බලහත්කාරකම් කිරීම, තුවාල සිදුකිරීම, භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, දමිත දර්ශන ජයතිලක, ජලාබ්දීන් මොහමඩ් අස්‌මි සහ මනිවේල් කුමාරස්‌වාමි යන සිව්දෙනා වෙඩි තබා ඝාතනය කිරීම හා රාඡ්පුරගේ ගාමිණී යන අයට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා 10 ක්‌ යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ අනුර තුෂාර ද මෙල්, හෙට්‌ටිකංකානමලාගේ චන්දන ජගත් කුමාර, කොඩිප්පිලි ආරච්චිලාගේ ලංකා රසාංජන, විඡේසූරිය ආරච්චිලාගේ මාලක සමීර, විදානගමගේ අමිල, කෝවිල්ලේගෙදර දිසානායක, මුදියන්සේලාගේ සරත් බණ්‌ඩාර, මොරවක දේවගේ සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, ජනක බණ්‌ඩාර ගලබොඩ, දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ හා නාගොඩ ලියනාරච්චිගේ ශාමින්ද යන පිරිසයි.

වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දැක්‌වූ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා මෙම සිද්ධියට අදාළව පාර්ශ්වකරුවන් විසින් වරින්වර කර ඇති අසත්‍ය ප්‍රකාශ නිසා අධිකරණයේ පවත්නා නීති කෘත්‍යයෙන් සාධාරණ නඩු විභාගයක්‌ ලබාගැනීමට තම සේවාදායකයාට ඇති අයිතිවාසිකම්වලට හානියක්‌ සිදුවන බව අවධාරණය කළේය.

ස්‌වාමීනි, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දුමින්ද සිල්වා ප්‍රතිකාර ලැබූ සිංගප්පූරුවේ මවුන්ට්‌ එලිසබෙත් රෝහලට ගිය අවස්‌ථාවේ චූදිතගේ හිසෙන් වෙඩි වැදුණු පතොරම් කැබලි තිබියදී වෙඩි තැබීමේ සිද්ධිය තමාගේ මතකයෙන් ගිලිහී ඇති බවට එවකට දුමින්ද සිල්වා කරන ලද ප්‍රකාශ සමහර පාර්ශ්වකරුවන් විසින් හාස්‍යයට ලක්‌කර තිබෙනවා.

එහෙත් මේ හැර තුවාල ලබා සිටි දුමින්ද සිල්වා ප්‍රථමයෙන් පරීක්‍ෂා කරන ලද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කර ඇත්තේ චූදිතගේ තුවාල මෝටර් රථ ගැටුමකින් සිදුව ඇති බවයි.

විත්තිකරුගේ දේශපාලන අනාගතය අඳුරු කිරීම සඳහා වෙර දරන පාර්ශ්වයන් පුන පුනා විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රකාශ කර සිටියේ මෙම චූදිතට කිසිම රෝගයක්‌ නොමැති බවත් රෝගී තත්ත්වය හුදු මවාපෑමක්‌ වන බවත් හඟවා අධිකරණය නොමඟ යවා මොහුට ඇප ලබාගත් බවයි.

මෙම චූදිත කොළඹ නවලෝක රෝහලෙන් මුදාහරින අවස්‌ථාවේදී සිදු වූ ක්‍රියාදාමයක්‌ ගැන දැනටමත් චූදිතගේ දෙමාපියන් විසින් නිකුත් කර ඇති පුවත්පත් නිවේදනයක්‌ සම්බන්ධව කිසිවක්‌ ප්‍රකාශ නොකරන බව ද හේමන්ත වර්ණකුලසූරිය මහතා පැවසීය.

වැඩිදුර විභාගය හෙටට (මේ මස 08 දිනට) කල් තැබිණි.

විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ මුදිත වික්‍රමසේකර, හංසදේව සමරකෝන්, ඉන්ද්‍රජිත් සමරතුංග, ඉනෝකා ගමගේ, ප්‍රේමසිරි පෙරේරා හා වීරසේන රණබාහු සමඟ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පෙනී සිටියේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මෙරිල් රංජන් ළමාහේවා මහතා පෙනී සිටියේය. (පියදාස රණසිංහ)

Source: Divaina (Sri Lanka)