විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය හකුළා ගන්නා ලෙසට බලකරමින් මෙම 21 වැනිදා රට පුරා පවත්වන මහා වැඩවර්ජනයට ආණ්ඩුව යහපත් ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉන් පසු අඛණ්ඩ මහා වැඩවර්ජනයක් දක්වා තමන්ට පියවර තැබීමට සිදුවනු ඇතැයි වෘත්තීය සමිති නායකයෝ සඳහන් කරති.
මෙම 21 වැනිදා පවත්වන වැඩවර්ජනය සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සහාය ලබා දීමට මේ වන විටත් එකඟ වී ඇති අතර ද්‍රවිඩ ජාතික සන්ධානයේ තීරණය මෙම සතියේ ලබාදෙන බව පවසා ඇතැයි වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ කමිටුවේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා “දිවයින” ට පැවසුවේය.
ආණ්ඩුවේ ඇමැතිවරුන් වන ඩියු ගුණසේකර මහතාගේ සිලෝන් ෙෆඩරේෂන් ඔෆ් ටේ්රඩ් යුනියන් සහ මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ලංකා කම්කරු සම්මේලනය යන වෘත්තීය සමිති දෙක ද මෙම වැඩවර්ජනයට සහාය දැක්වීමට කැමැත්ත පළ කර ඇති අතර බාලා තම්පෝ මහතාගේ සී. එම්. යූ. නමැති වෘත්තීය සමිතිය ද මීට සහාය දක්වන බව පවසා ඇතැයි වසන්ත සමරසිංහ මහතා කීවේය.
ඊට අමතරව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සහාය ලබාදෙන බව එහි සභාපති ගැමුණු විඡේරත්න මහතා ද ප්‍රකාශ කර ඇතැයි කී වසන්ත සමරසිංහ මහතා සමස්ත ලංකා පාසල් වෑන් රථ සංගමය, ට්‍රක් රථ රියෑදුරන්ගේ සංගමය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ද කීය.
සමස්ත ලංකා ත්‍රිරෝද රියෑදුරන්ගේ සංගමය ද මෙම වැඩවර්ජනයට සහාය ලබාදෙන බව පවසා ඇතැයි කී හෙතෙම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමඟ ද ඉදිරි දිනවල සාකච්ඡා කරන බව ප්‍රකාශ කළේය.
මෙම වැඩවර්ජනය සඳහා නීතිඥවරුන්ගේ සහාය ලබාදෙන ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරි දිනවල ප්‍රකාශ කරන බව කියා ඇතැයි ද කී වසන්ත සමරසිංහ මහතා, රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සහ පරිපූරක වෛද්‍යවරුන් සමඟ ද ඉදිරි සතියේ සාකච්ඡා කරන බැව් පැවසුවේය.
ලංකා ගුරු සංගමය සහ ජල, විදුලි වත්තීය සමිති ද සෞඛ්‍ය සේවාවන් ද මෙම වැඩවර්ජනය සඳහා කැමැත්ත පළකර තිබෙන බව කී සමරසිංහ මහතා මේ වන විට වෘත්තීය සමිති හයසියයකට අධික සංඛ්‍යාවක් මීට එක්ව සිටින බව කීය.
මෙම වැඩවර්ජනය කිසිදු පාර්ශ්වයකට ආපසු හැරවිය නොහැකි බව කී සමරසිංහ මහතා 21 වැනිදා වර්ජනයෙන් පසුව ද රජය යහපත් ප්‍රතිචාර නොදැක්වුවහොත් 22 වැනිදා ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ඊළඟ පියවර ප්‍රසිද්ධියට පත්කරන බව ද කීය. එම නිසා සියලු වැඩ කරන ජනතාව සමඟ එක්ව අඛණ්ඩ වැඩවර්ජනයක් කිරීම දක්වා වූ පියවර වෙත තමන් තල්ලු නොකරන ලෙසට රජයට අනතුරු අඟවා සිටින බව ද වසන්ත සමරසිංහ මහතා කීවේය.
Source: Divaina (Sri Lanka)