ගව ඝාතනයට විරෝධය පළකරමින් සිකුරාදා (24 වැනිදා) මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට දී සිරුරට පෙට්‍රල් හලාගෙන ගිනි තබාගැනීමෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 30 හැවිරිදි බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියෝ පෙරේදා (25 දා) රාත්‍රී 8.20 ට පමණ අපවත් වූහ.
අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ උන්වහන්සේ ගේ ජීවිතය බේරා ගැනීමට රෝහලේ වෛද්‍යවරු සහ හෙද කාර්ය මණ්ඩලය උපරිම උත්සාහයක යෙදුණහ. එම සියලු උත්සාහයන් අසාර්ථක වූ බව කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
අපවත් වන අවස්ථාව වන විට උන්වහන්සේ කෘතිම ශ්වසන යන්ත්‍රයකට සම්බන්ධ කර තිබූ බවද ඒ මහතා කීය.
(24 වැනිදා) උදේ 11.30 ට පමණ දෙනෝදාහක් දෙනා බලා සිටියදී සිය සිරුරට පෙට්‍රල් හලාගෙන ගිනි තබා ගත් මෙම හිමිනමගේ සිරුරේ පැතිරෙමින් තිබූ ගින්න පොලිස් විශේෂ කාර්ය බළකාය හා ඒ අවට සිටි සැදැහැවතුන් වතුර ගසමින් නිවා දැමූ අතර, පසුව උන්වහන්සේව මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
පිළිස්සීමෙන් බරපතළ තුවාල ලැබූ ඉන්ද්‍රරතන හිමියන්ගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් උන්වහන්සේ විශේෂ හෙලිකොප්ටර් යානයකින් කොළඹ ජාතික රෝහලට එවීමට මහනුවර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඩබ්. ජී. කේ. දිසානායක මහතා පියවර ගනු ලැබීය.
කහවත්ත පොරෝණුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිපාණන් කාලයක සිට ගව ඝාතනයට එරෙහිව හඬක් නැඟූ හිමිනමක බව ද පැවසේ.
එමෙන්ම උන්වහන්සේ පැවිදි වීමට පෙර පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස සිට ඇතැයි ද වාර්තා වේ.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අසල රැජින හෝටලය සමීපයේ පිහිටි බෝධිය ආසන්නයට පෙරේදා (24 දා) පැමිණි බෝවත්තේ ඉJද්රරතන හිමියන් දැතේ තිබූ සුදු පැහැති බෑගයක් පසෙකින් තබා රටේ සිදුවන ගව ඝාතනවලට තමා විරුද්ධ බවත්, මෙය දිවිනසා ගැනීමක් නොව ජීවිත පූජාවක් බවත් පවසා එක්වරම පෙට්්රල් ගැලුමක් අතට ගෙන ඇඟට හලා ගනිමින් ලයිටරයක් වැනි යමකින් සිරුරට ගිනි තබා ගත් බව සිද්ධිය දුටු පිරිස් පැවසූහ.
මේ අතර උන්වහන්සේ බේරා ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයකුගේ ද ශරීරයට ගිනි ඇවිලී පිළිස්සීමෙන් රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ.
මෙම සිද්ධිය වන අවස්ථාවේ ඒ අවට දන්සල් කීපයක් ද පැවැත්වෙමින් තිබී ඇත. මෙම සිද්ධිය වන අවස්ථාවේ ඒ අසල වන්දනාකරුවන් විශාල පිරිසක් සිට ඇති අතර ඔවුහු මෙම සිද්ධිය දැකීමෙන් කලබලයට පත් වූහ.
ගින්නෙන් හිමිනමගේ සිරුරේ බොහෝ තැන් පිළිස්සී ගොස් තිබුණු බව සිද්ධිය දුටුවෝ පැවැසූහ.
හිමිනම ගිනි තබා ගත් ස්ථානයේ තිබී භික්ෂු හැඳුනුම්පත, පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවෙන් නිකුත් කළ මන්ත්‍රී හැඳුනුම්පත, උන්වහන්සේ ලියන ලද ලිපි දෙකක් ද තිබී හමු වූ බව පරීක්ෂණ සිදු කරන මහනුවර පොලිසිය පවසයි.
මේ රටේ දිනකට ගව ඝාතන පන්දහසක් සිදුවන බවත්, එය නතර කරන ලෙස ඉල්ලමින් පා ගමන්, උද්ඝෝෂණ පැවැත්වුවද, විසඳුමක් නොලැබුණු බවත් උන්වහන්aසේ ලියූ ලිපියේ සඳහන් වන බව පොලිසිය කියයි.
බෞද්ධයන් අන්‍යාගමිකරණය තවමත් සිදුවන බවත්, ඊට ද තවමත් විසඳුමක් නැති බවත් උන්වහන්සේගේ ලිපියේ සඳහන් වන බව ද පොලිසිය කීය. එබැවින් තමා මෙම තීරණය ගන්නා බව උන්වහන්සේ ලියන ලද ලිපියේ සඳහන් ව ඇතැයි ද පොලිසිය කියයි.
උන්වහන්සේ ජාතික හෙළ උරුමයට සම්බන්ධ වී ක්‍රියාකාරී දේශපාලනයේ කටයුතු කර ඇත.
2011 වසරේ පැවැති ප්‍රාදේශීය සභා මැතිවරණයට පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවෙන් ඉදිරිපත්ව ජය ලබා පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වශයෙන් සිට ඇත. එහෙත් එක දිගටම ප්‍රාදේශීය සභාවට සහභාගි නොවීම නිසා මන්ත්‍රී ධුරය අවලංගු වී ඇතැයි පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාපති ලක්ෂ්මන් ප්‍රේමරත්න මහතා පැවැසීය.
විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ජාතික හෙළ උරුමයේ සාමාජිකත්වය ද මීට දෙසතියකට පෙර අවලංගු කර තිබූ බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් කීය.
මේ පිළිබඳව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එම්. බී. අඹන්වල මහතාගේ අධීක්ෂණය යටතේ මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මේ වනවිට මෙම සිද්ධිය දුටු පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි මහනුවර පොලිසිය කියයි.
හිමිනම ගිනි තබා ගත් ස්ථානය සහ පෙට්‍රල් ලබාගත් ස්ථානය සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බවද පොලිසිය කියයි.
Source: Divaina (Sri Lanka)