අයහපත් කාලගුණ තත්ත්වයෙන් මුහුද රළු වී ධීවර යාත්‍රා අනතුරට පත්වීම නිසා මියගිය ධීවරයන්ගේ ගණන 41 දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන්වූ ධීවරයන්ගේ ගණන 30 දෙනකු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (10 දා) නිවේදනය කර සිටියේය.
මේ අතර ඊයේ අම්බලන්ගොඩ සිට අහුන්ගල්ල දක්වා වූ මුහුදු තීරයට ධීවරයන්ගේ මළ සිරුරු 14 ක් ගොඩගසා තිබිණි.
මුහුදේ දී සිදුවූ අනතුරුවලින් තුවාල ලැබූ ධීවරයන්ගේ ගණන 29 කි. මේ ආපදාවන් නිසා ධීවර බෝට්ටු 41 ක් අනතුරට පත්වී ඇති බව ධීවර අමාත්‍යාංශය කියයි.
ආපදා තත්ත්වයෙන් විපතට පත් බහුතරයක් ධීවර ජනතාව බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අතර ගස් කඩා වැටීම නිසා රත්නපුර ප්‍රදේශයේ එක් පුද්ගලයකු මරුමුවට පත් වී ඇත.
පසුගිය සිකුරාදා (7 වැනිදා) රාත්‍රියේ සහ පසුදින (8 වැනිදා) අලුයම ඇතිවූ දැඩි සුළං හේතුවෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 2286 කි. ඉන් නිවාස 101 ක් මුළුමනින්ම විනාශවී තිබේ.
නිවාස කැඩී බිඳී යැමෙන් අවතැන් වූ පවුල් 24 කට අයත් පුද්ගලයෝ 107 දෙනක් මේ වන විට සහන කඳවුරු 4 ක තාවකාලිකව රැඳී සිටිති.
කළුතර සිදුවූ ආපදා තත්ත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ධීවරයන් හත් දෙනකු (7) මරණයට පත්ව ඇති අතර අතුරුදන් වූ සංඛ්‍යාව අටකි.
පුද්ගලයන් 18 දෙනකු තුවාල ලැබූ අතර හානියට පත් නිවාස සංඛ්‍යාව 905 කි. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 ක පවුල් රැසක පුද්ගලයෝ 2000 ක් පමණ මෙම විපතින් පීඩාවට පත් වී සිටිති. (තුෂාරී කළුබෝවිල, චමින්ද සිල්වා, සචිත්ර ඇල්වලගේ)
Source: Divaina (Sri Lanka)