ගුරුවරිය දණ ගැස්‌වූ මන්ත්‍රී තවත් නඩුවක වරෙන්තුකරුවෙක්‌

නවගත්තේගම ඉසුරු පාසලේ ගුරුවරියක දණ ගැස්‌සවීමේ සිද්ධියට සම්බන්ධ වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නමැත්තා මීට වසර තුනකට උඩදී කිරිමැටියාව ප්‍රදේශයේ පුද්ගලයකුට අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව පොලිසිය පවසයි.

එම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහුට එරෙහිව ආණමඩුව අධිකරණය මගින් වරෙන්තුවක්‌ද නිකුත් කර තිබී ඇත.

මෙම වරෙන්තුව සම්බන්ධයෙන්ද නවගත්තේගම පොලිසිය මගින් පුත්තලම අධිකරණය වෙත පෙරේදා (17 වැනිදා) කරුණු දැක්‌වූ අතර එම චෝදනාව සම්බන්ධයෙන්ද මොහු ලබන 27 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කෙරිණි.

ඉකුත් 2010 වර්ෂයේ පළාත් පාලන මැතිවරණය අවස්‌ථාවේ සැකකාර මන්ත්‍රිවරයා නවගත්තේගම කිරිමැටියාව ප්‍රදේශයේ පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දී තුවාල සිදුකර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව නවගත්තේගම පොලිසිය මගින් ආනමඩුව අධිකරණයේ නඩුවක්‌ පවරා තිබී ඇත. එහෙත් සැකකාර මන්ත්‍රීවරයා එම නඩුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට ඇත්තේ එක්‌ අවස්‌ථාවකදී පමණක්‌ බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියේය.

මොහු සිය දේශපාලන බලය පෙන්වමින් අධිකරණය වෙත ඉදිරිපත් නොවී සිටි අතර වරෙන්තුකරුවකු ලෙස අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත්ව සිට ඇත.

(හේමන්ත රන්දුණු සහ නලින් හෙන්දුරුගොඩ)

මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වේ

නවගත්තේගම ඉසුරු විදුහලේ ගුරුවරියක දණගැස්‌සූ වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වූ බව වයඹ පළාත් ආණ්‌ඩුකාර තිස්‌ස බලල්ල මහතා වෙත ඊයේ (18 දා) දහවල් ලිපියක්‌ මගින් දැනුම් දුන්නේය.

ඉල්ලා අස්‌වූ බව දැනුම් දුන් ලිපියේ පිටපත් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාටත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත හා වයඹ පළාත් ප්‍රධාන ඇමැති අතුල විඡේසිංහ යන මහත්වරුන් වෙතද යවා ඇත.

ජනාධිපතිතුමාගේත් පක්‌ෂයේත් රජයේත් සමස්‌ත ආණමඩුව ඇතුළු පුත්තලම් දිස්‌ත්‍රික්‌කයේ ජනතාවගේත් ගෞරවය රැකිය යුතු නිසාත් සාධාරණ ලෙස සියලු පරීක්‌ෂණ කටයුතුවලට අවකාශය සැලසීමට පළාත් සභා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වීමට තීරණය කළ බව එම ලිපියේ සඳහන් කර ඇත.

නවගත්තේගම ඉසුරු විදුහලේ ගුරුවරියක දණ ගැස්‌සවූ බවට තමාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් නිර්දෝශිභාවයට හේතු කාරණා මන්ත්‍රීවරයා එම ලිපියේ සඳහන් කර තිබේ.

මෙම ලිපිය මීගමුව බන්ධනාගාර අධිකාරිවරයා මගින් වයඹ පළාත් ආණ්‌ඩුකාරවරයා වෙත යවා ඇත.

(අනුර බාලසූරිය)

Source: Divaina (Sri Lanka)