ශිරාල් – මෛත්‍රි එජාපයෙන් නෙරපීම. රනිල් තිස්‌ස ඇතුළු 93 කට නොතීසි

එක්‌සත් ජාතික පක්‍ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශිරාල් ලක්‌තිලක සහ මෛත්‍රි ගුණරත්න යන මහත්වරුන් පක්‍ෂ සාමාජිකත්වයෙන් පහ කිරීමට එරෙහිව ගොනු කර තිබූ “රිට්‌” පෙත්සම් දෙක පිළිබඳ විභාගයක්‌ පැවැත්වීමට ඊයේ (25) තීරණය කළ අභියාචනාධිකරණය ඒ බව දැනුම් දෙමින් එම පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් තිස්‌ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු වගඋත්තරකරුවන් 93 දෙනකුට නොතීසි යෑවීමට නියෝග කළේය.

ලබන සැප්. 16 දා යළි පෙත්සම් කැඳවනු ලබන අතර එදාට මූලික කරුණු විමසීමකින් අනතුරුව පෙත්සම් විභාග කිරීම සඳහා විනිශ්චයකාරවරුන් තිදෙනකුගෙන් යුත් විශේෂ විනිසුරු මඬුල්ලක්‌ පත්කරන බව අභියාචනාධිකරණයේ සභාපති ස්‌කන්ධරාජා මහතා දැනුම් දුන්නේය.

මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය, එක්‌සත් ජාතික පක්‍ෂයේ සෙසු නිලධාරීන් වන ජෝන් අමරතුංග, දයා ගමගේ යන මහත්වරු පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේ සියලුම සාමාජිකයන් ඇතුළුව පෙත්සම්වල නම් සඳහන් වගඋත්තරකරුවන්ගේ සංඛ්‍යාව 93 කි.

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්‌තිලක හා දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රි ගුණරත්න යන මහත්වරුන් ගොනු කළ පෙත්සම් දෙක පිළිබඳව පක්‍ෂයේ සියලු දෙනාම දැනුවත් කිරීම අවශ්‍ය වී ඇති බැවින් ඒවා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම මුද්‍රණය කෙරෙන ජාතික පුවත්පත්වල පළකිරීමට ඔවුන්ගේ නීතිඥවරයා කළ ඉල්ලීමකට අභියාචනාධිකරණය ඊයේ අනුමැතිය දුන්නේය.

අභියාචනාධිකරණයේ සභාපති ශ්‍රි ස්‌කන්ධරාජා මහතා හමුවේ පෙත්සම් සලකා බැලූ අතර ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය.

ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා කියා සිටියේ පළාත් සභා මන්ත්‍රීවරයකු නියෝජනය කරන පිළිගත් දේශපාලන පක්‍ෂයෙන් ඔහු පහකිරීමට තීරණය කළ විට ඔහුගේ මන්ත්‍රී ධුරයද අහිමි වීමේ අවදානමක්‌ ඇති බැවින් එම තීරණය අධිකරණයක්‌ හමුවේ අභියෝග කිරීමට පළාත් සභා පනතේ රෙගුලාසි ප්‍රතිපාදන සලස්‌වා ඇති බවය.

මෙම පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනාම පක්‍ෂ නායකත්වයට එරෙහිව නඩු පැවරුවේ ඒ අනුව බව පැවසූ ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා ඊට ප්‍රධාන වශයෙන් වගකිව යුතු පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගඋත්තරකරුවන් උසාවි කැඳවා පෙත්සම් පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පවත්වන ලෙස ඉල්ලා සිටියේය.

පක්‍ෂ සාමාජිකත්වයෙන් පහ කළ බව දැනුම් දෙමින් පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පෙත්සම්කරුවන් දෙදෙනා වෙත යෑවූ ලිපි දෙකම බල රහිත කරන ලෙසත් පෙත්සම් විභාගය අවසන් වන තෙක්‌ පෙත්සම්කරුවන් දෙදෙනාගේ මන්ත්‍රී ධුර අහිමි කිරීමට කිසිදු පියවරක්‌ ගැනීම තහනම් කරන ලෙසද පෙත්සම්වලින් ඉල්ලා ඇත.

Source: Divaina (Sri Lanka)