ඉල්ලුවෙ වතුර උගුරක්‌ තිබහට බොන්ඩ දුන්නද කාපල්ල කියලා වෙඩි උණ්‌ඩ!

සූදුවේ කෙළ පැමිණි අසමජ්ජාති ධනකුවේරයකු තම ගම්මාන මිනිස්‌ දඩබිම් බවට පත් කර ගනිද්දී පිපාසයට දිය බිඳක්‌ හා ජීවත් වීමේ අයිතිය ඉල්ලා හඬා වැටෙමින් වීදි බට වැලිවේරියේ රතුපස්‌වල ජනතාවට දැන් වෙඩි උණ්‌ඩයකින් පිළිතුරු ලැබී තිබේ. ඒ එක්‌ තරුණ ජීවිතයක්‌ද බිලිගනිමිනි.

එහෙත් මේ ඔවුන්ට ලැබුණු සැබෑ පිළිතුරද? මේ සිදුව ඇත්තේ කුමක්‌ද? එසේ වූයේ ඇයි? රටේ ජනතාව රණවිරුවන් යෑයි කියමින් දේවත්වයෙන් පිදූ යුද හමුදාවේ තුවක්‌කුවලින් ඒ ජනතාවම ඉලක්‌ක කර මෙසේ වෙඩි උණ්‌ඩ පිටවූයේ කෙසේද? මේ කතාව ඇරඹෙන්නේ කොතැනකින්ද?

සූදුව ජීවිතය කරගනිමින් පොහොසතකු වූ ඉහත කී අසමජ්ජාති මිනිසාට අයත් ආයතනයක්‌ මගින් මීට පහළොස්‌ වසරකට පමණ ඉහත වැලිවේරිය නැදුන්ගමුව ප්‍රදේශයේ එක්‌තරා කර්මාන්ත ශාලාවක්‌ ඇරඹීය.

අප මේ මිනිසාට අසමජ්ජාතියා යෑයි කෙළින්ම කියන්නේ ඇයි. අදාළ කර්මාන්ත ශාලාව ආරම්භයේ සිට මේ දක්‌වා සිදුව ඇති ජනතා ෙද්‍රdaහී ක්‍රියා හමුවේ ඉන් එහා කියන්නට යමක්‌ නැති බැවිනි.

එකී කර්මාන්තශාලාව ආරම්භ වී වසර කිහිපයක්‌ ගතවෙද්දී පරිසරයේ විශාල විනාශයක්‌ සිදුවන බව වැලිවේරිය, රතුපස්‌වල ඇතුළු සියනෑකෝරළයට අයත් අවට ගම්මාන රැසක ජනතාවට දැනිණි. එහිදී ඔවුහු එකී කර්මාන්තශාලාවට එරෙහිව විරෝධය පළ කරන්නට වූහ.

එහෙත් යථාර්ථය දැනී ජනතාව එසේ කළද ඒ වන විටත් එම ජනතාවගේම ඡන්දයෙන් ගමේ ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්‌වාම යමින් ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කළ පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන් කිසිවකුටවත් කිසිත් නොදැනිණ.

ජනතාව දුක කියා කෑ ගැසූහ. සිදු වන විනාශය කිවයුතු සෑම තැනකටම කීහ. නමුත් එහිදී ඉහත කී දේශපාලනඥයෝ ඔවුන්ගේ කට මිරිකා අසමජ්ජාතියාගේ බත්බැලයන් සේ ඌටම කඩේ ගියහ. රටේ පරිසර අමාත්‍යංශයක්‌ සේම මධ්‍යම පරිසර අධිකාරියක්‌ද ඇත. එසේම මේ ප්‍රදේශවල රාජකාරි කළ සෞඛ්‍ය පරීක්‍ෂවරු, පරිසර නිලධාරින් ආදී ලෙසින් කප්පරක්‌ රාජ්‍ය නිලධාරිහුද වූහ. නමුත් මේ මිනිසුන්ගේ දුක අසන්නට කිසිවකුත් නොවූහ.

කාලය මෙසේ ගෙවී ගියේය. අවසානයේ මෙගම් වාසීනට සියනෑකෝරළයේ උල්පත්වලින් ගලා ආ සිසිල් දිය බිඳද අහිමිවන තත්ත්වයක්‌ නිර්මාණය වූයේ කිසිවකුටත් නොදැනීමය. භූගත ළිං ජලය පානය කරන්නට වූ ඔවුහු බාල, තරුණ, වැඩිහිටි බේදයකින් තොරවම නොයෙක්‌ ලෙඩ රෝගවලට ගොදුරු වූහ.

මේ මහා පුපුරා යැමේ සියල්ල ඇරඹෙන්නේ එතැනිනි. දිනය ඉකුත් 27 වැනි සෙනසුරාදා විය. ඉවසීමේ සීමාව ඉක්‌මවා සිටි වැලිවේරිය, රතුපස්‌වල ඇතුළු අවට ගම්මාන රැසක මිනිසුන් එක පොදියට සංවිධානය වී නැදුන්ගමුවේ තිබූ පෙර කී කර්මාන්තශාලාව වසා දමන්නැයි වගකිවයුත්තන්ට බල කරමින් එය ඉදිරිපිටට පැමිණ සාමකාමී උද්ඝෝෂණයක්‌ අරඹන්නේ තමන්ට ජීවත්වීමට ඇති අයිතිය ඉල්ලා සිටිමිනි.

එතැන් පටන් සිදු වන්නේ කුමක්‌ද? රජයේ මැති ඇමැත්තෝ විටින් විට මේ මිනිසුන් අතරට ගියහ. ඔවුන් සමග සාකච්ඡා පැවැත්වූහ. එහෙත් දේශපාලනඥයන් පිළිබඳ තිබූ සියලු විශ්වාසයන් අතහැර සිටි ඔවුහු එකී දේශපාලනඥයන් කී කිසිවක්‌ ගණනකට නොගත්හ.

ඔවහු දිනෙන් දිනම රැය ගෙවී පහන් වනතුරාම හරිහැටි කුසට අහරක්‌ පවා නොමැතිව ජීවිත් වීමේ අයිතිය ඉල්ලා පෙර කී කර්මාන්තශාලව වටලා විරෝධතා දක්‌වන්නට වූහ. එහෙත් සියල්ල සිදු වූයේ සාමකාමීවය.

මේ අතරේ ගමේ පන්සලේ නායක හිමියන් වූ තෙරිපැහැ සිරිධම්ම හිමියෝද එම ජනතාවට ශක්‌තියක්‌ වෙමින් කර්මාන්තශාලාව ඉදිරිපිට සයනයක වැතිර මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කළහ. එහෙත් මේ මිනිසුන්ගේ ඉල්ලීම් හමුවේ ආණ්‌ඩුව සිටියේ ඇල්මැරුණු අයුරිනි. රජයේ ඇතැම් දේශපාලනඥයෝ මේ මිනිසුන් අතරට පැමිණියහ. එසේ පැමිණ කිසිදු විසඳුමක්‌ නොමැතිවම යළි පිටව ගියහ.

වත්මන් රජය දෙස බැලීමේදී මෑතක සිට දක්‌නට ඇති එක්‌ සුවිශේෂී තත්ත්වයක්‌ ඇත. ඒ ජනතා ගැටලුවක්‌ ඉස්‌මතු වූ අවස්‌ථාවන්හි ඊට පැහැදිලි ලෙස විසඳුමක්‌ ලබාදී ජනතාවාදීව ගැටලු විස¹ ගැනීමට ඇති නොහැකියාවය. ආණ්‌ඩුව සියල්ල අනන්නේය. අවසානයේ අනාගෙන වන කරගන්නේය.

රතුපස්‌වල ජනතා නැගිටීමත් ආණ්‌ඩුව මෙසේ අනාගනිද්දී මෙකී විරෝධතාව ඇරඹී පස්‌වන දිනය ගෙවී යන ඉකුත් බ්‍රහස්‌පතින්දා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊට මැදිහත් වන්නේ මෙය විසඳුමක්‌ ලබාදිය යුතු සාධාරණ ජනතා ප්‍රශ්නයක්‌ බව වටහා ගනිමිනි.

ඒ අනුව විරෝධතාවේ නිරත පිරිසේ නියෝජිත කණ්‌ඩායමක්‌ සමග වැලගිරියේ රතනසිරි හිමියන් එදින දහවල් ආරක්‍ෂක අමාත්‍යංශයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුණ ගැසෙනුයේ සාකච්ඡාවක්‌ පැවැත්වීම සඳහා පැමිණෙන ලෙස කෙරෙන ආරාධනාවකට අනුව යමිනි.

එහිදී කුමක්‌ සිදුවීද? එසේ පැවැති සාකච්ඡාව ඉතාම සාර්ථක ලෙස අවසන් වන්නේය. ඒ පිළිබඳ අදහස්‌ දැක්‌වූ මෙම විරෝධතාවේදී ජනතාවට ශක්‌තියක්‌ වෙමින් උපවාසයක නිරත වූ තෙරිපැහැ සිරිධම්ම හිමියෝ “දිවයින”ට මෙසේ පැවසූහ.

“ආරක්‍ෂක ලේකම්වරයාගේ ආරාධනාවකට අනුව එදින වැලගිරියේ රතනසිරි හිමියන් සමග අපේ කණ්‌ඩායමක්‌ පවතින ගැටලුව පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යංශයේදී සාකච්ඡාවක්‌ පැවැත්වූවා.

මේ සාකච්ඡාවේදී අපේ සියලු ඉල්ලීම්වලට කන් දුන්න ආරක්‍ෂක ලේකම්වරයා සියල්ලට පැහැදිලි විසඳුම් ලබා දුන්නා. ඒ අනුව සාකච්ඡාවට ගිය පිරිස පැමිණ ඒ බව විරෝධතාවයේ නිරතව සිටි ගමේ ජනතාවට දැනුම් දුන්නට පස්‌සේ ඔවුන් විසිර ගියා. මමත් උපවාසය නතර කළා” ඒ වන විට හත්දහසක පමණ පිරිසක්‌ එතැන හිටියා.

තත්ත්වය එසේ වූයේ නම් මේ කියන ඉකු බ්‍රහස්‌පතින්දා රාත්‍රිය උදාවත්ම වැලිවේරිය ප්‍රදේශයේ ආරක්‍ෂාවට සිටි යුද හමුදා සෙබළුන් අතවූ තුවක්‌කුවලින් වෙඩි උණ්‌ඩ ඉගිල යන්නට වූයේ කුමක්‌ අරබයාද? දැන් අපි ඒ කතාව බලමු.

වැලිවේරිය රතුපස්‌වල ජනතාව පෙරකී කර්මාන්තශාලාව අසලට පැමිණ විරෝධතාවක්‌ ආරම්භ කරනු ලැබුවේ සැබෑ අරමුණක්‌ වෙනුවෙනි. මේ විරෝධතාවට දිනක්‌ දෙදිනක්‌ ගතව යද්දී බැලුම්මහර, වැලිවේරිය මන්සන්ධිය ඇතුළු ස්‌ථාන කිහිපයකද කණ්‌ඩායම් වශයෙන් එක්‌රැස්‌ වූ පිරිස්‌ විරෝධතා දක්‌වන්නට වූයේ කර්මාන්තශාලාව අසල සිටි පිරිසට සහය දැක්‌වීමේ පියවරක්‌ ලෙසිනි. එහෙත් ඉකුත් බ්‍රහස්‌පතින්දා ආරක්‍ෂක ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව කර්මාන්තශාලාව අසල සිටි පිරිස්‌ විසිර යද්දී මෙසේ තැන් තැන්වල රැස්‌ව සිටි පිරිස්‌ කළේ කුමක්‌ද?

කර්මාන්තශාලාව අසළ සිටි පිරිසේ ක්‍රියාකාරි සමාජිකයකු වූ ගුණවර්ධන මහතා ඒ පිළිබඳ “දිවයින”ට කියා සිටියේ මෙවැන්නකි.

“අපේ පිරිස විසිර ගියාට පස්‌සේ ස්‌වාමින් වහන්සෙත් උපවාසය අතහැරියා. ඒත් ඒ වෙනකොට බැලුම්මහර ප්‍රදේශයේ හිටපු කණ්‌ඩායමක්‌ කොළඹ නුවර මාර්ගය වසා දැමීමේ උත්සාහයක නිරත වී තිබෙනවා. මේ අවස්‌ථාවේ බැලුම්මහර ප්‍රදේශයේ ආරක්‍ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළුන් එසේ නොකරන ලෙසට දැනුම් දෙමින් ඔවුන්ව වලක්‌වලා තිබෙනවා.

නමුත් හමුදාව එහෙම නුවර පාර වහන එක වලක්‌වනකොට එතන හිටිය පිරිසේ කිහිපදෙනෙක්‌ දුරකථන මාර්ගයෙන් වැලිවේරිය හන්දියේ හිටපු කණ්‌ඩායමට දැනුම් දීලා යුද හමුදාව පහර දුන්නා කියලා. ඒ වෙලාවේ තමයි වැලිවේරිය ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක්‌ ඇතිවෙලා ඒක ගැටුමක්‌ දක්‌වා දුරදිග ගොස්‌ තිබෙන්නේ.

මේ ගැටුමෙදී ඇතැම් පිරිස්‌ සංවිධානාත්මක අයුරින් යුද හමුදාවට යම් යම් දේවලින් පහර දීලා. ඒ අවස්‌ථාවේ තමයි හමුදාව වෙඩි තැබීමක්‌ කරලා තිබෙන්නේ.

කහඳවිට ආරච්චිලගේ දොන් අකිල දිනේෂ්. වයස අවුරුදු 17 යි. පදිංචිය වැලිවේරිය හෙලන්වත්ත අංක 476/15 කියන නිවසේ. ඒ තමන්ගේ ආච්චියි සීයයි එක්‌ක. දිනේෂ්ට මව සමග එක්‌ සොයුරෙක්‌ හා සොයුරියක්‌ ඉන්නවා. තාත්තා මියගිහින්.

උපකාරක පන්තියකට ගිය දිනේෂ් මේ කියන මූසල මොහොතේ ගැටුම් පැවැති ස්‌ථානය පසුකර යමින් සිටින්නේ කඩිනමින් නිවස බලා යන අරමුණෙනි. එහෙත් කොහේදෝ සිට පැමිණි වෙඩි උණ්‌ඩයක්‌ දිනේෂ්ගේ සිරුරේ පිට ප්‍රදේශයෙන් සිරුරට කිඳා බැස පපුව ප්‍රදේශයෙන් පිට වන්නේ නොසිතූ ලෙසිනි.

ඒ නරුම වෙඩි උණ්‌ඩය තවත් මිනිත්තු කිහිපයකදී මේ අසරණ තරුණයාගේ ප්‍රාණය උදුරා ගන්නේ පියා නැති පවුලකට තිබූ ශක්‌තිය සහමුලින්ම වනසා දමමිනි.

ඉකුත් සිකුරාදා පෙරවරුවේ ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ සිය තරුණ පුතුගේ නිසල දේහය දුටු ඒ මව දරු දුක වාවා ගත නොහැකිව තැබූ විලාපය කාගේත් හදවත් කම්පා කරවන්නක්‌ විය. එහෙත් දිනේෂ්ට ඒ කිසිත් නොඇසුණේය.

අප මේ ලිපිය සකසන මොහොතේ අවස්‌ථා කිහිපයකදිම දිනේෂ්ගේ මව සමග කතාබහ කරන්නට උත්සාහ දැරුවද දරු දුක හමුවේ විටින් විට සිහිසුන් වන්නට වූ ඇගෙන් කිසිත් විමසන්නට අපට අවස්‌ථාවක්‌ නොලැබිණි.

දිනේෂ්ගේ අකල් මරණය හමුවේ දැන් අපට එක්‌ පැහැදිලි ගැටලුවක්‌ පැන නැගී ඇත. දිනේෂ් මියගියේ කුමකටද? ඔහුගේ මරණයට වගකිවයුත්තේ කවරෙක්‌ද?

පෙර අපට අදහස්‌ දැක්‌වූ ගුණවර්ධන මහතා කියන ආකාරයට සියල්ල විසඳී ගිය පසු ගැටුමක්‌ ඇති වූයේ නම් එක්‌කෝ ඒ පිරිස්‌ අතර සොමියට උද්ඝෝෂණ කළ වුන් කණ්‌ඩායමක්‌ සිටියා විය යුතුය. එසේත් නොමැති නම් අපට කවදත් අසා හුරු පුරුදු මළ මිනී මතින් සිය දේශපාලන මාවත තනා ගන්නා පිරිසක්‌ සිටියා විය යුතුය.

ඔවුන් සිය දේශපාලන අවභාවිතාව හමුවේ මළ මිනියක්‌ දකින තුරු නිමාවක්‌ නොදකින සටනකට සැරසී සියල්ල සිදු කළා විය යුතුය. එසේ වූයේ නම් හෙට දිනයේ ඔවුන්ම එකතු වී වැලිවේරියේ උපන් වීරයකු සේ ලෝකයට පෙන්වමින් පන්ති ගොස්‌ එමින් සිටියදී මියගිය දිනේෂ්ගේ නිසල සිරුර වළ දැමීමටද සැරසෙනු ඇත. එහෙත් ඉන් එහා සිදු වන්නේ කුමක්‌ද?

ආදරණීය පුතු අහිමිව දිනේෂ්ගේ මව තනිවනු ඇත. එකම සොයුරාත් සොයුරිත් අසරණ වනු ඇත. ආච්චි අම්මාත් සීයාත් දුක දරාගත නොහැකිව ටික කලකින්ම ජීවිතයෙන් සමුගෙන යනු ඇත. ඒ අතරේ පෙරකී දේශපාලන අවභාවිතාවේ යෙදුනෙකු සිටියේ නම් උන් තවත් අඩියක්‌ දිනේෂ්ගේ මළ මිනිය මතින් පෙරට තබනු ඇත. ඉන් එහා සිදුවන යමක්‌ තිබේද?

එසේම තවත් කියන්නට දෙයක්‌ද අපට ඇත. යුද හමුදා සෙබළකු අත රැඳි ගිනි අවිය යනු ඔහුගේ රාජකාරියට උරුම මෙවලමකි. නමුත් එය භාවිත කිරීමේදී මොළය බිඳක්‌ පාවිච්චි කිරීමටද සොල්දාදුවන් දැන් හුරු විය යුතුමය. මන්ද දැන් ඔවුන් ගිනි අවි රැගෙන කඩා පනින්නේ ත්‍රස්‌තවාදීනA අතරට නොවන බැවිනි.

මේ මූසල දිනයේ එවන් හික්‌මීමක්‌ තිබූ සෙබළ පිරිසක්‌ වැලිවේරියේ සිටියේ නම් දිනේෂ් තවමත් ජීවතුන් අතර බව අමුතුවෙන් කිවයුතු නොවන්නකි. එසේම දිනේෂ්ගේ මරණයේ වගකීමෙන් මිදෙන්නට රජයටද හැකියාවක්‌ නැත. මන්ද දිනේෂ් අද මියගොස්‌ ඇත්තේ රජයේ හමුදාව සිදු කළ වෙඩි තැබීමකින් බැවිනි.

එසේම හමුදාව අතින් සිදු නොවිය යුතු දේ බොහොමයක්‌ද මෙහිදී සිදුවිය. මේ රටේ ජනතාව රණවිරුවාට ආදරය කරති. අපිද ආදරය කරන්නෙමු. ඒ මේ දේශය අපට දිනා දුන් වීරයන් නිසාය. නමුත් ඒ වීරයන් අතරේ කැණහිලුන් එකෙකු දෙන්නකු සිටින බවද මේ සිද්ධියේදී අපට වැටහින.

යුද හමුදාවේ සිටින්නට නුසුදුසු යෑයි හැඟී යන ඒ එකා දෙන්නා මෙහිදී කුමක්‌ කළේද? එකෙකු සිද්ධිය ආවරණයට පැමිණි මාධ්‍යවේදීන්ට තග දැමීය. තවෙකකු කැමරා සිල්පීන් සතු “චිප්” උදුරා ගත්තේය. නොහික්‌මුණු අම්බරුවන් සේ හැසිරෙන්නට විය. එහෙත් අපි යුද හමුදාව වෙතින් ඒවා බලාපොරොත්තු නොවෙමු. ඒ හමුදා සෙබළා යනු විනයක්‌ ඇත්තකු සේ අපේ හදවත්හි නිධන්ගතව තිබෙන නිසාය. නමුත් අපේ ඒ හැඟීම් වියෑකී යන අයුරින් කටයුතු කිරීමට යම් හමුදා සෙබළකු ක්‍රියා කරන්නේ නම් එවන් උන් පිළිබඳ කළ යුත්ත කිරීම බලධාරින්ගේ වගකීමක්‌ බවද මෙහිදී සිහිපත් කළ යුතුමය.

සියල්ල මෙසේ වෙද්දී පිපාසයට දිය බිඳක්‌ සමග ජීවත් වීමේ අයිතිය ඉල්ලා වීදි බට වැලිවේරියේ මිනිසුන්ගෙන්ද අසන්නට පැනයක්‌ අපට ඇත. මිනිසුනේ නුඹලා සටන් වැදුණේ කුමකටද? දැන් නුඹලාට ලැබී ඇත්තේ කුමක්‌ද?

සාධාරණ ඉල්ලීමක්‌ හමුවේ නැගී සිටීමේ අවසානය කොහේවත් සිටින අහිංසකයකුගේ ජීවිතය උදුරා ගැනීමකින් කෙළවර වේ නම් ඒ සටනේ ඇති හරය කුමක්‌ද?

(සමන් ගමගේ)

Source: Divaina (Sri Lanka)