ප්‍රාදේශීය දේශපාලනඥයන් අද අපේ රටේ සමාජය තුළ බරපතළ ප්රචණ්ඩත්වයක් ඇතිකරන පිරිසක් බවට පත් වෙලා. මෙබඳු තත්ත්වයක් නිර්මාණය වූණේ කොහොමද?
අපේ රටේ දේශපාලන ව්යqහය සකස්වෙලා තියෙන්නෙ ජාතික, පළාත් සහ ප්‍රාදේශීය යන මට්ටම්වලින්. අපේ රට බටහිර ලිබරල් ප්රජාතන්ත්රවාදය දකුණු ආසියාවට හඳුන්වාදුන් පැරණිම රටක්. මහජන කැමැත්තෙන් ජනතා නියෝජිතයන් තෝරා ගැනීමේ ක්‍රමය ක්‍රියාත්මක වුණු පැරණි රටක්. ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය මූලික වශයෙන් නිර්මාණය වෙන්නෙ බටහිර ලිබරල් ප්රජාතන්ත්රවාදය ඇතුළෙ. මේ ක්‍රමය හරහා මුල් කාලයේ දේශපාලන ක්ෂේත්රයට අවතීර්ණ වුණේ, නායකත්වයට ආවේ රටේ ප්‍රධාන සමාජ පන්තීන් නියෝජනය කළ පිරිසයි.
රටක සමාජයක් එක තැනක නැවතී තිබෙන්නෙ නෑ. සමාජයක් ක්‍රමානුකූලව විපර්යාසයන්ට භාජන වෙමින් පංති සැකැස්ම වෙනස්වෙමින් ගමන් කරනව. දේශපාලනයට එන නියෝජිතයන්ගේ ස්වභාවයත් තීරණය වෙන්නෙ මේ වෙනස් වෙමින් පැවත එන සමාජ පන්තිවල කැමැත්ත මතයි. ක්‍රමයෙන් සමාජය සංකීර්ණ වන විට, වෙනස් වෙමින් ගලා යන විට මහජන නියෝජිතයන්ටත් ජනතාව සමඟ සෘජුව සම්බන්ධ වීමට අපහසු වන විට ගම් මට්ටමින් අතරමැදි නියෝජිතයන් පත්කර ගැනීමේ අවශ්‍යතාව ඇතිවුණා. ප්‍රධාන මහජන නියෝජිතයා හා ජනතාව අතර සම්බන්ධතාව ඇතිවුණේ මෙලෙස ගම් මට්ටමින්. පළාත් මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් බිහිවුණු නියෝජිතයන් ඔස්සේ. මොවුන් තමයි පසුකාලීනව මැතිවරණ සඳහා ජනතාව ඒකරාශි කළේ. මේ ප්‍රාදේශීය නියෝජිතයන් යම් යම් දේශපාලන වාසි ලබාදීම තුළින් ජනතාව ඔවුන් වෙත ඇද බැඳ තබා ගැනීමටත් කටයුතු කළා. මේ ආකාරයේ දේශපාලන ක්‍රියාදාමයක් තුළින් ජනතාවට පොදු පහසුකම් ලබාදීම මෙන්ම යම් යම් පුද්ගලයන්ගේ පෞද්ගලික වුවමනා ඉටුකර ගැනීමත් සිදුවුණා.
අද ප්‍රධාන දේශපාලන ප්රවාහයට සම්බන්ධ වී සිටින අයත් යම් කාලයක ප්‍රාදේශීය මට්ටම්වල සිට ජාතික මට්ටමේ දේශපාලකයින්ට ඡන්ද එක්රැස්කර දුන් අය. ජාතික මට්ටමින් දේශපාලනයට සම්බන්ධ වී සිටින අය සමඟ ළඟින් ඇසුරු කරන මේ ප්‍රාදේශීය දේශපාලකයන්ට පක්ෂය හරහා කිසියම් බලයක් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනය තුළ නිරතවෙමින් එය හැසිරවීමේ අවස්ථාවකුත් ලැබෙනව. දැන් මේ සංස්කෘතිය අපේ දේශපාලනය තුළ මුල්බැසගෙන ඉවරයි. 1987 ඇති වූ පළාත් සභා තුළින් මේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයන් තව තවත් ශක්තිමත් වීමක් සිදුවුණා.
අපේ රටේ ප්‍රාදේශීය දේශපාලනයට සම්බන්ධවීමට අවශ්‍ය එකම සුදුසුකම ජාතික මට්ටමේ දේශපාලකයන්ට ඡන්ද එකතුකර දීමේ හැකියාව සහ ඔවුන් සමීපව ඇසුරු කිරීම. රටේ සම්පත් ජනතාව අතර බෙදාදෙන නියෝජිතයන් ලෙසත් ජාතික මට්ටමේ දේශපාලකයන් සමීපව ඇසුරු කිරීමේ පුද්ගලයින් හැටියටත් මේ අය යම් බලයක් ගොඩනගා ගන්නව. නමුත් මේ පිරිස දේශපාලනය පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති අය නොවෙයි. ඒ නිසා ඔවුන් හොඳින් හෝ නරකින් ජනතා කැමැත්ත ලබා ගැනීමට පෙළඹෙනව. ප්රජාතන්ත්රවාදය යනු එක්තරා ව්‍යාපාරයක් විදිහටයි මොවුන් හිතන්නෙ. තමුන් ඉස්මතු වීම, මුදල් රැස්කර ගැනීම, ජනතා කැමැත්ත මිලදී ගැනීමට මැතිවරණවලදී ඒ මුදල් ආයෝජනය කිරීම තමයි දේශපාලනය කියල මේ අය හිතන්නෙ. මේ අයට රටේ ජීවත්වෙන කවුරුත් පුරවැසියෝ නොවෙයි. ඡන්දදායකයෝ, පුරවැසියා කියන්නේ මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කරනවා වගේම වගකීම් සහ තම අයිතිවාසිකම් වෙනුවෙන් සමාජය තුළ ක්‍රියාත්මක වෙන කෙනෙක්. නමුත් ඡන්දදායකයා අවශ්‍ය වන්නෙ ඡන්දයකදී පමණයි. මේ නිසා විශේෂයෙන් අද ඉන්න ප්‍රාදේශීය දේශපාලකයො කල්පනා කරන්නෙ ජනතාව තමුන්ට ලබාදෙන බලය ඕනෑම දේකට පාවිච්චි කරන්න පුළුවන් කියලයි. මේ අයට ජනතාව සමඟ තියෙන්නෙ ඡන්ද කාලෙට ඇතිකරගන්නා තාවකාලික ගිවිසුමක් විතරයි. අද අපේ රටේ දේශපාලනය තාවකාලික ගිවිසුම් මත සකස් වූ එකක්.
ඡන්දෙන් පස්සෙ අද පත්වෙන්නෙ ජනතා සේවකයෙක්, මන්ත්‍රීවරයෙක් නොවෙයි දේශපාලන දේවතාවෙක්. ජනතාවට සිදුවෙන්නෙ මේ දේවතාවට පුදසත්කාර කරන්නයි. විවේචනය කළොත් ඔහුගේ උදහසට ලක්වෙන්නයි.
රටක ප්රජාතන්ත්රවාදී ක්‍රමය තුළ දේශපාලන බිමේ රැඳී ඉන්න පුළුවන් ජනතා කැමැත්ත ඇති අයට පමණයි. නමුත් අද අපේ රටේ දේශපාලන ක්ෂේත්රයේ ප්‍රාදේශීය නායකයන් වැඩි දෙනා ජනතා අප්‍රසාදයට පත් වූ අය?
අද ඡන්දයක් කියන්නෙ ජනතා කැමැත්ත විමසා බලන එක්තරා මාර්ගයක් විතරයි. තම කැමැත්ත කොයි ආකාරයෙන් පාවිච්චි කරන්න ඕනද කියල අද සාකච්ඡාවක් නෑ. ඒ සාකච්ඡාව ගොඩනැගිය යුත්තේ පුරවැසියන් තුළ දේශපාලකයන් වැඩි දෙනෙක් පුරවැසියන් අමතක කරන්නෙ මේ නිසයි. ඔවුන්ට ඕන පුරවැසියො නොවෙයි ඡන්දදායකොයා. දේශපාලකයන්ට රිසි සේ තමුන්ගේ කාර්යයන් කරගෙන යන්ටත් තමුන්ට ඡන්දය දුන් අය පවා පීඩනයට ලක් කරන්නටත් අද අවස්ථාව ලැබී තිබෙන්නෙ පුරවැසියන් තම කාර්යභාරය නිසි ලෙස ඉටු නොකරන නිසයි. අපේ රටේ පුරවැසියන් දේශපාලනයට තම සෘජු දායකත්වය අද සපයන්නෙ නෑ. මේ නිසා ප්‍රාදේශීය දේශපාලකයන්ට අද තමුන්ට රිසි සේ කටයුතු කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.
මේ ප්‍රාදේශීය දේශපාලකයන් කරන ඕනෑම අමන වැඩක් ඔවුන්ට ඡන්දය දුන් ජනතාව මත පැටවීම ජාතික තලයේ ඇතැම් දේශපාලකයන්ගේ සිරිතයි. මේ ප්‍රාදේශීය දේශපාලකයන්ට නාමයෝජනා දුන් අයට ඒ පිළිබඳ වගකීමක් නැද්ද?
තමුන් වෙනුවෙන් දේශපාලන තරග බිමට එන්නෙ කවුද කියල තීරණය කිරීමේ බලයක් අපේ රටේ මහජනයාට නෑ. ඒ පරම අයිතිය තියෙන්නෙ අපේ රටේ පක්ෂවලට. ඡන්දයකට තෝරාගත යුතු පුද්ගලයන් පිළිබඳ නිර්ණායක පක්ෂයට තියෙන්නට ඕන. හොඳින් හෝ නරකින් දිනන්න පුළුවන් නම් ඔහු තමයි සුදුස්සා කියලයි හැම පක්ෂයක්ම හිතන්නෙ. මැරබලය සහ මුදල් තිබීම අද අපේක්ෂකත්වයක් ලැබීමට මූලික සුදුසුකමක්. අද මහත්මා දේශපාලනයක නිරත පුද්ගලයෙකුට ඡන්දයකට එන්න අමාරුයි. අපේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව පත්කරගන්නා ආණ්ඩුව මූලික වශයෙන් පාලනය කරන්නෙ පක්ෂ විසිනුයි. පක්ෂයේ අය සතුටු කළ තරමට තමයි ප්‍රාදේශීය දේශපාලකයන්ට ගොඩනැගෙන්න අවස්ථාව ලැබෙන්නෙ. අපේ රටේ ප්‍රාදේශීය දේශපාලකයන් බිහිවෙන්නෙ ජනතා කැමැත්ත මත නෙමෙයි. තමුන් කැමැති කෙනෙක් තමුන්ගේ ප්‍රදේශයට පත්කර ගැනීමට තිබෙන අයිතිය අපේ රටේ පක්ෂ විසින් ජනතාවට අහිමි කරල තියෙනව. ප්රජාතන්ත්රවාදී දේශපාලනයේ මූලික හරය අපේ රටේ පක්ෂ දේශපාලනය විසින් උල්ලංඝනය කරල තිබෙනවා. ප්රජාතන්ත්රවාදය කියන්නෙ මහජන කැමැත්ත. මහජන කැමැත්ත කියන්නෙ පක්ෂයේ කැමැත්ත නොවෙයි. අපේ රටේ පක්ෂ ඡන්දවලට අපේක්ෂකයො තෝරන්නෙ ඒ සඳහා පත්කළ කමිටුවකින්. අඩු තරමේ පක්ෂ සාමාජිකයින්ටවත් ඊට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. මේ ක්‍රමය වැරැදියි. අඩු තරමින් පක්ෂය තුළවත් මීට වඩා ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් තිබෙන්න ඕන. පක්ෂයක් තෝරාගන්නා අපේක්ෂකයා පිළිබඳ ප්‍රාදේශීය මට්ටමෙන්, ග්‍රාමීය මට්ටමින් කිසියම් ආකාරයක පවතින ඡන්දයක් තුළිනුයි අපේක්ෂකයන් පිළිබඳ තීරණයක් ගත යුත්තේ.
අපේ රටේ ප්‍රාදේශීය දේශපාලකයන් වැඩි දෙනා දූෂිතයො. අද මේ අයගෙන් සමාජයේ යහ පැවැත්මට බරපතළ තර්ජනයක් එල්ල වී තිබෙනව. දේශපාලනය මහත්වරුන් අත පමණක් රඳවාගන්න ජනතාවට කළ හැකි යමක් තියෙනවද?
මේ සම්බන්ධයෙන් අද අපේ රටේ ජනතාවට කළ හැකි කිසිවක් නැති බවයි මගේ අදහස. අද අපේ රටේ දේශපාලනය තුළ පුළුල් ප්රතිසංස්කරණයක් අවශ්‍යයි. මේ දේශපාලන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් සිවිල් සමාජ ක්රියාකාරිකයින්ට, බුද්ධිමතුන්ට හඬක් නගන්න පුළුවන්. අපේ රටේ පක්ෂ ප්රජාතන්ත්රවාදී කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග මොනවද යන්න පිළිබඳ පුළුල් සාකච්ඡාවක් සමාජය තුළින් ඇතිවන්න ඕනෑ.
ජන හදගැස්ම හඳුනන පිරිසක් මහජන නියෝජිතයන් ලෙස තෝරාපත්කර ගැනීමට මහජනතාවට අවස්ථාව ලැබෙන්නෙ අපේ රටේ පක්ෂ තුළ ප්රජාතන්ත්රවාදය තහවුරු වුණොත් විතරයි. එම නිසා ප්රජාතන්ත්රවාදය ස්ථාපිත වන පරිදි පක්ෂ ප්‍රතිසංස්කරණය විය යුතුයි. ජනතාවට වගකියන දේශපාලනඥයින් සකස් නොකර මේ දේශපාලන ප්රචණ්ඩත්වය වළක්වන්න බෑ. එය ආරම්භ කළ යුත්තේ ප්‍රාදේශීය තලයෙන්.
සාකච්ඡා කළේ
පාලිත සේනානායක
Source: Divaina (Sri Lanka)